Breaking News

Latest

'දැන ගියොත් කතරගම' පිරුළේ උප්පත්ති කතාව

පූර්ව දැනුවත්වීමකින් තොරව, කිසියම් කාර්යයකට අත පෙවීම, සහ එය අසාර්ථක වීමට ඇති සම්භාවිතාව ගැන කියැවෙන "දැන ගියොත් කතරගම - නොදැන ගියොත් අතර මඟ" යන සුප්‍රසිද්ධ ප්‍රස්ථා පිරුළ කවුරුත් අසා ඇතිවාට සැක නැත. නමුත් මේ ප්‍රස්ථා පිරුළේ උපත හා සම්බන්ධ ඵෙතිහාසික කතාන්දරය නම් බොහෝ අය අසා නැති බව නිසැකය. එය අපගේ රට යටත් විජිත සමය තුළ සැඟව තිබෙන අපූරු කතා ප්‍රවෘත්තියකි. ඉංග්‍රීසීන් අප රට පාලනය කළ එක්දාස් අටසිය ගණන්වලදී, රට තුළ විශාල සහල් හිඟයක් ඇති විය. ඒ නිසා රටේ උද්ගතවූ ආහාර ගැටළුව විසඳීම සඳහා දකුණු ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීමට ඉංග්‍රීසි පාලකයන්ට සිදුවිය. ඒ සඳහා දැරිය යුතු වූ අධික වියදම දරාගත නොහැකි තරම් විය. ඒ නිසාම රටේ ආදායම ශීඝ්‍රයෙන් පහළ බැස ගියේය. මෙය ඉංග්‍රීසි පාලනයට ප්‍රබල ලෙස දැනුණි. ඒ වන විට රටේ බොහෝ සශ්‍රීක ප්‍රදේශ, වැව් අමුණු වෙල්යායවල් වල්බිහිව තිබුණේ වසර ගණනාවක් තුළ පෘතුගීසින් කළ විනාශකාරී කටයුතු නිසාය. පසුව එම කෘෂිකාර්මික කටයුත යළි නඟාසිටුවීමට ලන්දේසිහු ඌරුබොක්ක වැව ඇතුළු රුහුණේ වැව් අමුණු ගනණාවක් ප්‍රතිසංස්කරණය කළද එය සාර්ථක පිළියමක් නොවිණි. මේ ගැටළුවේදී එකල හම්බන්තොට ආදායම් පාලකවරයා විසින් ඒ වන විට වල්බිහිව තිබූ ඵෙතිහාසික පැරණි පුදබිමක් වන තිස්සමහාරාම ප්‍රදේශය නැවත සංවර්ධනය කර ආදායම් ලැබිය හැකි ප්‍රදේශයක් ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට පිඹුරුපත් සකසන ලදී. එසේම මේ ඵෙතිහාසික පුදබිම ආශ්‍රිත ප්‍රදේශ සංවර්ධනය කරමින් ඒ අවට වගා බිම් දියුණු කිරීම කෙරෙහිද ඔවුන්ගේ අවධානය යොමුවූයේ එවැනි ආගමික වටපිටාවක් උරුම ප්‍රදේශ වල පදිංචි වීමට අපේ මිනිසුන් දක්වන විශේෂ වූ කැමැත්ත තම වැඩපිළිවෙලට උපකාර කර ගැනීමටය. 1859 දී පමණ ශ්‍රීමත් හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා වල්බිහිව තිබූ තිස්සමහාරාම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක යෙදී තිබේ. එහිදී ඒ අවට තිබූ තිස්සමහාරාම වැවේ නටබුන් දැක එතුමා තැබූ සටහනෙහි මේ ආකාරයේ අදහසක් ගැබ්ව තිබේ. "මේ ප්‍රදේශය මේ තත්වයේ තිබියදී පවා ඉතාම සුන්දරය" එතුමා දැක තිබුණේ තිස්සමහාරාම වැව් පතුල ගොඩවී ඒ මත වැවී තිබුණු මහා වනාන්තරයයි. නමුත් ඒ වන විටත් වැව්බැම්ම ඉතාම ආරක්ෂිතව පවතින බවද ඔහු නිරීක්ෂණය කළේය. පසුව මේ වැවට කිරිදිඔය හරහා දියවර ලබාදී වැව නැවත යථා තත්වයට පත්කරන ලදී. දකුණු ලකේ සංවර්ධනය ආරම්භ වූයේ මේ වැව් ප්‍රතිසංස්කරණයත් සමඟය. එම ගෞරවය හිමිවිය යුත්තේ ඉංග්‍රීසි ජාතිකයන්ටය. තිස්සමහාරාම ඵෙතිහාසික ප්‍රදේශය පැරණි රාජ්‍ය සමයේ හැඳින්වුයේ 'තිහව' යන නමිනි. අදද එම නම ව්‍යවහාරයේ පවතී. වැව ප්‍රතිසංස්කරණය කර ඒ අවට ඉඩම් කට්ටි ජනතාවට නොමිලේ බෙදා දෙන්නට කටයුතු කළ පසු එම ප්‍රදේශය ක්‍රමයෙන් නැවත ජනාවාස වීම ඇරඹිණි. ගොවි බිම් සකස් කළ මිනිස්සු සිය වගා කටයුතු ආරම්භ කළහ. නමුත් ඒ වන විටත් අලි ඇතුන්, වල් හරක්, කිඹුලන් වැනි හානිකර සතුන් ගහණ මේ ප්‍රදේශයේ අය ජීවත් වූයේ ගස් මුදුන්වල තනාගත් අට්ටාල වල යැයි කියනු ලැබේ. තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවිතැන් බත් සඳහා නොමිලේ ඉඩම් දෙන බවට ඉංග්‍රීසි ජාතිකයන් රුහුණේ සෙසු ප්‍රදේශ වලට අණබෙර පවා පිටත් කර තිබේ.

ක්‍රම ක්‍රමයෙන් ගොවිබිම් වල සරු අස්වනු සමඟ ජන ජීවිතය සාර්ථක විය. සරුසාර අස්වනු හා සමඟ එහි සාර්ථක වෙළද නඟරයක් (නියම්ගමක්) ගොඩනැගීම ඇරඹිණි. ඒ අවට වෙළඳ ප්‍රජාව තම අස්වනු විකුණා ගැනීමට සේම විවිධ නිෂ්පාදන මිලදී ගැනීමට ද 'තිහව'ට පැමිණීමට හුරුපුරුදු වුහ. ඒ හා සමඟම ප්‍රතිසංස්කරණය කොට තිබූ තිස්සමහාරාම විහාරයද විශේෂ ආකර්ශණයට ලක්වූ ස්ථානයක් බවට පත්විය. දෙවුන්දර දේවාලය පවා ඉතා හොඳ ආදායමක් ලැබූ, පිරිස් බහුලව ගැවසුණු තැනක් බවට පත්ව තිබූ එසමයෙහි කතරගම දේවාලය එතරම් ජන ආකර්ෂණයට ලක් නොවූ එසේම, එතරම් ආදායමක් නොලැබූ , තරමක්අප්‍රකට ස්ථානයක් විය. එනිසාම 19වන සියවසේ අග භාගයේදී කතරගම දේවාලයේ නඩත්තුව සඳහා ඉංග්‍රීසින් විසින් පහළ ඌව ප්‍රදේශයෙන් ඉඩම් ප්‍රදානයක්ද කරන ලදී. දේවාලය සතු එම ඉඩකඩම් සේම ඒවායේ ඔප්පු ද අදත් කතරගම දේවාලය සතුව තිබේ.  
තිස්සමහාරාම සංවර්ධනයත් සමඟ එම ප්‍රදේශය කලඑළිවනවාත් හා සමඟ බැතිමතුන් සහ වෙළඳුන් එහි පැමිණීම ආරම්භ විය. මාතර ප්‍රදේශයෙන් ගෙනන අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය එහිදී අලෙවි කළ වෙළෙන්දෝ එම ප්‍රදේශයේ කෘෂිනිෂ්පාදන මිලදී ගෙන නගරයට රැගෙන ගියහ.
නමුත් කතරගම පුදබිම වෙත යා යුතු ගමන් මඟ වැටී තිබුණේ මහා රූස්ස වනාන්තරයක් වූ යාල මහා වනය හරහාය. එය විශාල කැලයක් සේම රුදුරු වන සතුන් ගැවසුණු අන්තරාකාරී ප්‍රදේශයක් ද විය. විශාල ගස් අතරින් කටු පදුරු අතරින් ඒ ඝන කැලෑවේ පාර සොයාගෙන යාම කිසිසේත්ම පහසු කටයුත්තක් නම් නොවීය. මහා වර්ෂා කාලයේදී පාදාගෙන තිබෙන පාරවල් පවා මඩවී කිසිවක් පැහැදිලි නැති තත්වයට පත්විය. මේ නිසාම මේ මහා වනය මැදින් කතරගම දක්වා ගමන් කිරීම පුරුදු කාරයෙකුට මිස නවකයෙකුට නම් කෙසේ වත් කළ හැක්කක් නොවිණි.
ඒ නිසා එකල ආරක්ෂා සහිතව කතරගම යාමට, තිස්සමහාරාමයට පැමිණෙන වන්දනා කරුවන් කළේ තම කරත්ත එහි නතර කර බඩු බාහිරාදිය පළපුරුදු කරත්ත කාරයින්ගේ කරත්ත වල පටවාගෙන ඔවුන් සමඟ ගමනේ බැරෑරුම් ඉතිරි කොටස ගෙවමින් කතරගමට ළඟාවීමය. ඒ සඳහා කිසියම් මුදලක් අයකර තම සේවය සැපයූ කරත්තකරුවන් පිරිසක්ද තිස්සමහාරාම වෙළඳ නගරය තුළ වූහ. මේ අයගේ සහය නොලබා හිතුමතේ මේ මහ වනය තරණය කරන්නට උත්සාහ කළ අය මඟ අතර මං වූ අතර සමහරු වනසතුන්ට ගොදුරු වී ජීවිත පවා අහිමි කරගත්හ.
එදා කතරගම ගිය උදවියට මුහුණ දෙන්නට සිදුවූ මේ අභියෝගාත්මක සිද්ධිය මුල්කොටගෙන තැනුණු "දැන ගියොත් කතරගම - නොදැන ගියොත් අතරමඟ" කතාවේ උප්පත්තිය සිදුවිය.
නිර්මලා කුමාරි සේනාරත්න
උපුටා ගැනීම www.lakbima.lk. 
Post a Comment