Breaking News

Latest

රැපියල් 500කින් ධම්මික පෙරේරාගේ ජීවිතය වෙනස් කරගත් හැටි

මෙයට අවුරුදු 80 කට පමණ පෙර එනම් 1935 දී පමණ කොළඹ ජීවත් වූ ව්‍යාපාරික පවුලක්‌ පෙට්‍රල් ෂෙඩ් එකක්‌ පටන් ගත්හ. ඔවුන් එය පටන් ගත්තේ එතෙක්‌ ඉතා සුළුවෙන් කරමින් සිටි ආනයන අපනයන වෙළෙඳාම සහ වතුකරයට බඩු සැපයීමේ ව්‍යාපාරය පුළුල් කරනු පිණිසය. එක්‌දහස්‌ නවසිය තිස්‌ ගණන්වලදී මුළු ලංකාවේම තිබුණේ පෙට්‍රල් ෂෙඩ් 10 කටත් අඩු ගණනකි. ෂෙඩ් එකේ අයිතිකරු රිචඩ් පීරිස්‌ ය. හවුල්කරුවෝ ඔහුගේ පවුලේ අය ය. එයින් වසර 3 ක්‌ ගත වන තැන රිචඩ් පීරිස්‌ ගේ ව්‍යාපාරයේ ආදායම පන්සිය ගුණයකින් වැඩි විය. වහාම තම ව්‍යාපාරය සීමාසහිත ව්‍යාපාරයක්‌ බවට පරිවර්තනය කළ ඔහු රිචඩ් පීරිස්‌ සහ සමාගම යනුවෙන් එයට නම් තැබීය. ඊළඟ අවුරුදු 70 තුළ රිචඩ් පීරිස්‌ සමාගම මෙරට රබර් සහ ප්ලාස්‌ටික්‌ භාණ්‌ඩ නිෂ්පාදනයේ ප්‍රමුඛයන් බවට පත් වූහ. නව සහස්‍රය එළැඹීමත් සමගම රිචඩ් පීරිස්‌ සමාගම කොටස්‌ වෙළෙඳපොළට කොටස්‌ නිකුත් කරමින් පොදු සමාගමක්‌ (Public Ltd Company) බවට පත් විය. තවත් ස්‌වල්ප කලකට පසු, එනම් වසර 2002 හෝ ඊට ආසන්න වසරක දිනකදී පීරිස්‌ පවුලේ අය උදේ අවදි වී බලන විට රිචඩ් පීරිස්‌ සමාගම් අයිතිකාරයා බවට සේන යද්දෙහිගේ නමැති අප්‍රකට ව්‍යාපාරිකයෙක්‌ පත්ව සිටියේය. ඔහු එසේ කළේ රුපියල් බිලියන කිහිපයක්‌ වැය කර කොළඹ කොටස්‌ වෙළෙඳපොළෙන් රිචඩ් පීරිස්‌ සමාගමට අයත් බහුතර කොටස්‌ මිලට ගැනීමෙනි. මෙය නිදහසින් පසු ශ්‍රී ලංකාව තුළ කරන ලද පළමුවන විශාලතම ව්‍යාපාරික මිලට ගැනීම වෙයි.
ආචාර්ය සේන යද්දෙහිගේමේ හා සමාන සිද්ධියක්‌ පසුගිය සතියේදී සිදුවිය. ඒ වූ කලී කීර්තිමත් ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් සිංගර් ශ්‍රී ලංකා සමාගම මිලට ගැනීමය. ඔහු ඒ සඳහා රුපියල් බිලියන 11 ක්‌ ගෙව්වේය. ධම්මික එය කළේ තමා සභාපතිත්වය දරන හේලීස්‌ සමාගම හරහා ය. කොළඹ කොටස්‌ වෙළෙඳපොළේ තිබූ සිංගර් සමාගම් කොටස්‌ මිලියන 231.8 ක්‌ කොටසක්‌ රුපියල් 47 බැගින් ඔහු මිලට ගෙන තිබිණ. එය සිංගර් සමාගමේ කොටස්‌වලින් 61.37% ක ප්‍රමාණයකි. ඉදිරි මාස 12 තුළ ඔහු එම සමාගමේ තවත් කොටස්‌ මිලියන 35 ක්‌ මිලදී ගැනීමට ගිවිස ගෙන ඇත. සිංගර් ශ්‍රී ලංකා සමාගම යනු ඉතා ස්‌ථාවර අනාගතයක්‌ සහ ගමන් මඟක්‌ ඇති ව්‍යාපාරයකි. මෙහි ආදායම හැම අවුරුද්දකම ඉහළ නගී. ගිය වසරේ මුල් හය මාසයේ ආදායම පෙර වසරට වඩා 13.6% ක්‌ ඉදිරියට ගියේය. මේ කොම්පැනිය හදන ඕනෑම දෙයක්‌ විකිණෙයි. ධම්මික පෙරේරා යනු විකිණෙනතුරු බලා නොසිට කෙසේ හෝ විකුණන ව්‍යාපාරිකයෙකි.
අයිසැක්‌ මෙරිට්‌ සිංගර්සිංගර් සමාගමේ සමාරම්භකයා 1811 දී ඇමරිකාවේ නිව්යෝර්ක්‌ නගරයේ උපන් අයිසැක්‌ මෙරිට්‌ සිංගර් ය. ඔහු වෘත්තීය නළුවෙකි. නිව්යෝර්ක්‌ ප්‍රදේශයට අයත් පිට්‌ස්‌ටවුන් නගරයෙහි ඔහු විසූ නිවස අදටත් ඇත. ඉඳිකටුවට නූල දමා අතේ ඇඳුම් මසන ගැහැනුන් දෙස බලා සිටි ඔහු මහන යන්ත්‍රයක්‌ හදන ආකාරය ගැන නිතර කල්පනා කළ ද වැඩේ පත්තු වූයේ නැත. 1839 දී ඔහු ගල් හිල් කරන මැෂිමක්‌ හදා එයට පේටන්ට්‌ බලපත්‍රය ගෙන එය ඩොලර් 2000 කට වික්‌කේය. ඩොලර් 2000 ක්‌ යනු නූතනයේදී ඩොලර් 45000 ක්‌ හා සමානය. මේ අතර ලෙරෝ සහ බ්ලොට්‌ගෙට්‌ නමැති දෙදෙනාත් මහන යන්ත්‍රයක්‌ නිපදවුවද එයින් මහනවාට වඩා, සිදුවූයේ කැඩෙන යන්ත්‍රය හැදීමට කාලය වැය කිරීමය. මේ මැෂිමේ මූලධර්ම දෙස බලාගෙන අයිසැක්‌ සිංගර් ලෙහෙසි මහන මැෂිමක්‌ නිර්මාණය කළේය. 1851 දී ඒ සඳහා පේටන්ට්‌ බලපත ඔහු ලබා ගත්තේය. මෙය ලොව පළමුවන ප්‍රායෝගික මහන යන්ත්‍රයයි. විනාඩියකට මැහුම් පහර 900 ක්‌ ගැසීමට එයින් හැකි විය.

ලොව පළමුවන සිංගර් මහන මැෂිම 

1865 දී සිංගර්ගේ පේටන්ට්‌ බලපත්‍රය අභියෝගයට ලක්‌ කරමින් මහන යන්ත්‍ර නිර්මාපකයන් තිදෙනෙක්‌ නඩු මගට පිවිසුනාහ. ඔවුන් කියා සිටියේ සිංගර් ඔවුන්ගේ මැෂිම බලාගෙන මහන මැෂිමක්‌ තැනූ බවය. අන්තිමේදී ගහ මරා ගැනීමකින් තොරව ලාභය බෙදාගන්නටත්, සිංගර්ට මැෂින් හදන්නට උදව් කරන්නටත් ඔවුහු තීන්දු කළහ. මේ අනුව අයිසැක්‌ සිංගර් අයි. එම්. සිංගර් සහ සමාගම යනුවෙන් සමාගමක්‌ පටන් ගෙන මහන මැෂින් හදන්නට විය. එකල එනම් 1856 දී මේ මැෂිමක්‌ විකුණන ලද්දේ ඩොලර් 100 කටය. පසුව නිෂ්පාදනය ඉහළ යැමත් සමඟ එහි මිල ඩොලර් 10 තෙක්‌ අඩු විය. මේ අතර සිංගර්ගේ කොටස්‌කරුවා වූ ඊ. ඩී. ක්‌ලාක්‌ නමැත්තා මහන යන්ත්‍ර ගෙවීමේ ක්‍රමයට විකිණීම හඳුන්වා දුන්නේය. සිංගර් සමාගම අදටත් මෙය මෙසේම සිදු කරයි. තවත් වසර කිහිපයකට පසු සිංගර් ස්‌කොට්‌ලන්තය සහ බ්‍රසීලය යන රටවල මහන යන්ත්‍ර සාප්පු තුනක්‌ ඇරියේය.

මහන යන්ත්‍ර ගෙවීමේ ක්‍රමයට
විකිණීම හඳුන්වා දුන් අවස්‌ථාව 

කුලප්පු ආරච්චිගේ දොන් ධම්මික පෙරේරාගේ කතාව මේ කතන්දර දෙකටම වඩා වෙනස්‌ ය. ඔහු ව්‍යාපාරික පවුලකින් පැවත එන්නේ නැත. ඔහු ජීවිතය පටන් ගන්නා විට ඔහුට කිසිදු සමාජ සම්බන්ධතාවක්‌ තිබුණේ ද නැත. අවුරුදු 19 දී කොළඹ පදිංචියට එන විට ඔහුගේ සාක්‌කුවේ තිබුණේ රුපියල් 500 ක්‌ පමණි. එයින් අවුරුදු 15 කට පසු, එනම් වයස අවුරුදු 39 වන විට ඔහුගේ ආයෝජනයන් අතර විදුලි බලාගාර, බැංකු, කැසිනෝ ශාලා, හෝටල්, නැව් යනාදිය විය. එදා ඔහුගේ සාක්‌කුවේ තිබූ රුපියල් 500 රුපියල් බිලියන රැසක්‌ බවට පත්ව තිබිණි. කොළඹ තිබෙන කැසිනෝ ශාලා අතුරින් සාර්ථකම ක්‌ලබ් තුන ඔහුට අයත් ය. ඔහු සතු නැව්වලට ඕනෑ තරම් බිස්‌නස්‌ ඇත. NDB බැංකුවේ කොටස්‌වලින් 9% ක්‌ මිලට ගත් ඔහු පසු කාලයේදී එහි ලොකුම කොටස්‌ හිමියා බවට පත්විය. පෑන් ඒෂියා බැංකුවේ කොටස්‌වලින් 10% ක්‌ මිලට ගත් ඔහු පසු කාලයේදී එහි ලොකුම කොටස්‌ හිමියා බවට පත්විය. රෝයල් සෙරමික්‌ සමාගමේ කොටස්‌වලින් 29 ක්‌ මිලට ගත් ඔහු එල්. බී. ෆිනෑන්ස්‌ සමාගමේ කොටස්‌වලින් 20% ක්‌ ලබාගෙන පසුව එහි අයිතිකරු බවට පත්විය. ඔහු ව්‍යාපාරිකයකු වශයෙන් කොතරම් ස්‌ථාවර වීද යත් මෙයට වසර 15 කට පෙර ඔහු සෙලාන් බැංකුවෙන් රුපියල් මිලියන 60 ක ණයක්‌ ඉල්ලූ විට ලලිත් කොතලාවල මැදිහත් වී ඔහුට රුපියල් මිලියන 240 ක්‌ ලබා දුන්නේය. සම්පත් බැංකුවෙන් ඔහු රුපියල් මිලියන 50 ක්‌ ණයට ඉල්ලූ විට බැංකුව ඔහුට රුපියල් මිලියන 150 ක්‌ දුන්නේය.
ධම්මික පෙරේරා අවුරුදු 19 දී එනම් 1987 දී කොළඹ එන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු ඩිප්ලෝමාවක්‌ සඳහා ඉගෙන ගැනීමටය. දිනක්‌ ඔහුගේ සපත්තුවක්‌ කැඩින. ඔහු ගමේ ගිය විට පුතාගේ කැඩුණු සපත්තුව දුටු මව අලුත් සපත්තු කුට්‌ටමක්‌ මිලට ගැනීම සඳහා රුපියල් 500 ක්‌ දුන්නාය. එහෙත් ඔහුට සපත්තු ගැනීමට බැරි විය. ඒ 88 භීෂණය හටගත් බැවිනි. ධම්මික මේ වන විට නැවතී සිටියේ පෑලියගොඩය. භීෂණය නිසා විශ්වවිද්‍යාල වසා දැමූ බැවින් පෑලියගොඩ බෝඩිමට වී කල්පනා කරමින් සිටි ධම්මිකට ඉස්‌සරහ පාරේ වෙළෙඳාම් කරන පේමන්ට්‌ වෙළෙන්දකු හමුවිය. ධම්මිකගෙන් ණයට රුපියල් 500 ක්‌ ඉල්ලූ ඔහු එය බිස්‌නස්‌ එකට යොදා හැම හවසකම ඉන් ලැබෙන ලාභයෙන් අඩක්‌ දෙන්නෙමැයි පොරොන්දු විය.
පසුගිය සතියේදී ඔහු සිංගර් සමාගම මිලට ගන්නේ ඒ රුපියල් පන්සියයේ තවත් ප්‍රතිඵලයක්‌ ලෙසය.
  • පුවත් මුලාශ්‍රය දිවයින පුවත්පත.
Post a Comment