Breaking News

Latest

ජාතික ගීය නිසාම ජීවිතයත් අහිමි වු ඔහු


යම් රටෙක ගීත රචකයකුගේ ප්‍රබන්ධයක් එම රටේ ජාතික ගීය වශයෙන් තෝරා ගන්නේ නම් එම රචකයාගේ නාමය දශක ගණනාවක් තිස්සේ යුග ගණනාවක් තිස්සේ රටවැසියාගේ සම්භාවනාවට පාත්‍රවීමේ වාසනා ගුණ මහිමය ද ලබන්නේය. එම දුර්ලභ අවස්ථාව ලංකා දේශය නිදහස් වූවායින් පසුව ලැබුවේ ප්‍රවීණ කලාවේදී ආනන්ද සමරකෝන් මහත්මාණන්ය. එය දැනුදු පාසල් යන කුඩා දරුවන් පවා දන්නා සත්‍යයකි. කුමක් හෙයින්දයත් පාසල් පෙළපොත්වල පවා ජාතික ගීය මුද්‍රිතව එයට යටින් ගීත රචනය ආනන්ද සමරකෝන් යනුවෙන් සඳහන් කර තිබෙන හෙයිනි.

එහෙත් ජාතික ගීතයේ නිර්මාතෘ ආනන්ද සමරකෝන් යන වචනවලට යටින් තිබෙන ඉතිහාසය මතුකර බලන විට දක්නට ලැබෙන්නේ අතිශයින්ම දුක්බර කතාවකි.

තමන් තුළ පැවති විවිධ දක්ෂතා කුඩා වියේදී සිටම දක්වාලමින් සිංහල ජන සමාජය පමණක්ද නොව පිටරට ජන සමාජයන්ද, විස්මිත කරවූ කලා ශිල්පියෙකුට අන්තිමේ අත්වූ ඉරණම පිළිබඳව හෙළි කිරීමේදී මෑත යුගයේදී ආනන්ද සමරකෝන් මහතාට අත්වූ ඛේදවාචක අවසානය ගැන සඳහන් කළ හැක්කේය. තම දක්ෂතා මගින් ප්‍රබුද්ධ ජනතාවකගේ සිත්සතන්වල නව ප්‍රබෝධයක් ඇති කිරීමේ අරමුණ ඇතිව එතුමන් විසින් කටයුතු කරන ලද නමුදු එවකට කලාව සහ කලා ශිල්පීන් භාරව සිටි බලධාරින් විසින් එතුමුතුව සලකන ලද්දේ ඉතාමත්ම පහත් අන්දමටය.

කලා ශිල්පීන්ට අතහිතදීම උදෙසා වර්ෂ 1956දී බලයට පත් බණ්ඩාරනායක අගමැතිතුමාගේ ප්‍රමුඛ අදහසට පණදීමක් වශයෙන් ‘සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයක්’ පිහිටන ලද නමුදු, එකල එහි අරක්ගෙන සිටි අපූරු බලධාරින් පිරිසක් විසින් නන් අතේ දස්කම් ඇති ශිල්පියකු වූ ආන්නද සමරකෝන් මහතාට දෙන ලද්දේ ලංකා කලා මණ්ඩලයේ කලා සහකාර තනතුරකි. එහෙත් එම කලා සහකාර සේවයෙහිද වසර දෙකක සේවයෙන් පසු එම කලා මණ්ඩලයට පත්වූ නව සභාපතිනිය විසින් ආනන්ද සමරකෝන් මහතා කිසිදු හේතුවක් නොදන්නා එම තනතුරින් ඉවත් කර දමනු ලැබුවාය.

ගායකයකු වශයෙන් තම නිර්මාණ එළිදැක්වීමටද, කට හඬින්ම හා සහාය ගායකයකු හෝ ගායකයකු සමඟ ඒවා ගුවන්විදුලි වැඩ සටහනකින් එළි දැක්වීමටද සමරකෝනුන්ට කලක සිට ගුවන් විදුලියේ දොර විවෘතව තිබිණ. එහෙත් එසේ කලා සහකාර තනතුර අහිමි කිරීමෙන් සුළු කලකට පසුව ගෙවන්නට මුදල් නැතැයි සඳහන් කරමින් වර්ෂ 1959 ජුනි මාසයේ සිට ගුවන් විදුලි වැඩ සටහන්ද කපා දමා තිබිණ.

සංගීතඥයකු, ගී පද රචකයකු, චිත්‍ර ශිල්පියකු ආදී වශයෙන් විවිධ කුසලතා ඇතිව තම දස්කම් දැක්වූ ආනන්ද සමරකෝන් මහත්මාගේ එම දක්ෂතා ඉන් කලකට පෙර ඉන්දියාව, ඉන්දුනීසියාව, ආදී රටවල කලාවේදීන්ගේ අගය කිරීමට ලක්විය. චිත්‍ර ශිල්පියකු ලෙස සමරකෝනුන්ගේ චිත්‍ර එහි සමහර රටවල සඟරාවන්හී මුල්පිටුව සරසන්නටද යොදා ගන්නා ලද්දේය. සමරකෝන් චිත්‍ර සම්ප්‍රදාය ඔවුනගේ නොමසුරු අගය කිරීමටද ලක් කෙරිණි.

බෞද්ධ සංස්කෘතියෙන් හැඩගැසුණු සිංහල ජාතිකත්වයෙන් ඔප්නැංවුණු ජනතාවක් සිටිනා රටෙක කලාශිල්පියෙකු මෙවන් තත්ත්වයකට පත්වීම අතිශයින්ම ඛේදජනකය. ලෝකයේ වෙනත් රටෙක නම් සිට රටේ ජාතික ගීය ප්‍රබන්ධ කරන ලද පුද්ගලයා සලකනු ලබන්නේ දෙයියකු වශයෙන් වූ ගරුත්වයකින් බව කිව හැක්කේය. එහෙත් අපේ රටේ වූයේ මෙසේය.

මේ අයුරින් තමාට බලපෑ එක්තරා අන්දමක පළිගැනීමක් බඳුවූ සමාජ වර්ගයා ගැන කලකිරීමට පත්වීම එකල කලාකරුවන්ට සලකන්න විශේෂයෙන්ම නිර්මාණය කළ පසුබිමෙකදීම සිදුවීම නම් අදහාගත නොහැකි අන්දමේ අවාසනාවක් බවද කිව හැකිය. ආනන්ද සමරකෝනුන්ගේ උප්පත්තිය ඉගෙනීම හා කලා කුසලතා වර්ධනය වූ අන්දම ගැනද කරුණු මෙසේ දක්වාලිය හැකිය.

ක්‍රිස්තු වර්ෂ 1911 ජනවාරි 13 වැනිදා කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රදේශයේ වටරැක ලියන්වල නම් ග්‍රාමයේ පිරිමි දරුවන් සතර දෙනෙකුන් වූ පවුලක දෙවැනියා වශයෙන් එගොඩහගේ ජෝර්ජ් විල්ෆ්‍රඞ් අල්විස් සමරකෝන් නමින් ඔහු උපත ලැබුවේය. පියා එකල යුරෝපීයයන් සතුව පැවැති මතුරට සමූහ ව්‍යාපාරයේ අනුබද්ධ වග වතුයායේ ප්‍රධාන ලිපිකරුවූ සැමිවෙල් සමරකෝන් මහතාය. ආගම කතෝලික විය. මාතාව නුගේගොඩ නාවල ප්‍රදේශයේ ගුරුවරියකවූ ඩොමින්ගා පීරිස් මහත්මියයි. සැම්සන්, සිරිල්, බර්ටි යනුවෙන් අනෙක් සහෝදරයන් නම් කෙරිණ. කුඩා කළ තම සීයාගේ නිවසේ සිටිමින් පිළියන්ද වෑවල රජයේ පාසලේ මුලින්ම ඔහුට ඉගෙන ගන්නට ඉඩ සැලසිණි.

මේ ශිෂ්‍යාගේ ගීත රචනයේ දක්ෂතා පළමු වරට ප්‍රකට වූයේ වයස අටේදීය. එම පාසලේ ගණන් පාඩම තිබෙන අවස්ථාවේදී ගණන් නොහදා ඒ අසලින් ගලා යන වේරැස් ගඟ දෙස බලමින් කොපි පොතේ ගීයක් ලියන්නට කුඩා දරුවා සමත්විය. මෙය දුටු ගුරුතුමා පොතේ ගණන් වෙනුවට ලියැවුණු ගීපද දැක දරුවා ඉදිරියට ගෙන්වා ඔහුට යස දඬුවමක් දුන්නේය. එවේලේම ඔහු ලද දඬුවම නම් තමන් ලියූ ගීතය පන්තියේ සෙස්සන්ට ඇසෙන්නට ගායනා කිරීමය.

මෙවන් අවස්ථාවලදී වෙනත් ගුරුවරයකු නම් මේ ශිෂ්‍යයා කළ කටයුත්තට බරපතළ දඬුවමක් දෙන නමුදු මෙසේ මෙවේලේ එම ගුරුතුමා ඔහුට දුන් දඬුවම නිසා එවන් කුඩා කලදීම ගීත නිබන්ධනය කිරීමත් ගායනයත් සඳහා දක්ෂතා ඇත්තෙකු මෙන් කුඩා දරුවා ප්‍රකට වූවේය.

පසුව එම විදුහලෙන් ඉවත් කර කෝට්ටේ ක්‍රිස්තියානි විදුහලට ඇතුළත් කරනු ලැබූ අතර පසු කලෙක ඔහුගේ දෙවැනි ප්‍රකට ගීත රචනය වශයෙන් ගණන් ගැනෙන්නේ වයස දහහතරේදී 1925දී තම මාතාව ඉගැන්වූ නාවල ක්‍රිිස්තියානි පාසලක ළමුන් සඳහා එකල අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද ගීත තරගයක් සඳහා ලියාදෙන ලද ගීතයකි. කුඩා රචකයාගේ මත පෙළද සපුරමින් එය එම ගීත තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගත්තේය.

නිසර්ග සිද්ධ කුසලතා දක්වමින් සිංහල භාෂාවෙහි නිවැරදිව භාෂා හරඹද දක්වමින් එදා කුඩා සමරකෝන් අතින් ලියවුණු එම ගීතය පසු කලෙකද ඔහුගේ ගීත රචනා අතර මුල් තැනක් ගන්නට සමත්විය. එය නම් ‘අපි වෙමු එක මවකගේ දරුවෝ’ නම් ගීතයයි. එදා එවන් දස්කම් පා ඉගෙනගත් සමරකෝන් පසුව 1929දී විභාගවලින් සමත්ව වර්ෂ 1934දී කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට බැඳෙන්නේ එහි චිත්‍ර හා සංගීත ගුරුවරයා වශයෙනි.

ඉන්දිය මහා කවි රවින්ද්‍රනාත් තාගෝර්තුමා විසින් සංගීත හා නාට්‍ය කණ්ඩායම සමඟ ලංකාව පැමිණි එම වර්ෂයේදී සමරකෝන් ඇතුළු සිංහල කලා ශිල්පීන් කිහිපදෙනෙකුටම එතුමන් යටතේ අධ්‍යාපනය ලබන්නට සිතැඟි පහළ වන්නේ එම දස්කම් දැකීම නිසාය. මේ හේතුව නිසා වර්ෂ 1936දී ඔහු පන්නිපිටියේ චන්ද්‍රා සෙනෙවිරත්න  නම් යුවතියක රහසේ කසාද බැඳගෙන ඇයත් සමඟ ඉන්දියාවට ගියේ තාගෝර්තුමා යටතේ සංගීත සහ චිත්‍ර කලාව වැඩිදුරටත් ඉගෙන ගන්නටයි.



එහෙත් කිසියම් හේතුවක් නිසා සිය අධ්‍යාපනය අඩක් සම්පූර්ණ කිරීමෙන් පසුව ඔහු ආපසු සිය බිරිඳ සමඟ ලංකාවට එන්නේ තම ජීවිතයේ විශාල පරිවර්තනයකටද ලක් කර ගැනීමෙන් අනතුරුය. උත්පත්තියෙන් කතෝලිකයෙකු වූ, නමින් ජෝර්ජ් විල්ෆ්‍රඞ් අල්විස් සමරකෝන් යැයි උප්පැන්නයේ ලියවුණු නම ආනන්ද සමරකෝන් යැයි වෙනස් කරගත් ඔහු තම ආගමද වෙනස් කරගෙන බෞද්ධයෙකු වශයෙනි ආපසු පැමිණියේ. එය ඔහු ඇසුරු කළ කාටත් පුදුමයටද විස්මයටද හේතුවක් විය.

සියරට පැමිණි පසු ආනන්ද සමරකෝන් හට ප්‍රකට අධ්‍යාපන ආයතන විදුහල් කිහිපයකට සංගීත හා චිත්‍ර උපදේශකයකු ලෙස කටයුතු කරන්නට ඉඩ සැලසිණි. මරදානේ ආනන්ද මහා විද්‍යාලය ඉන් එකකි. එතැන් පසුව ගාල්ලේ මහින්ද විද්‍යාලයේ සංගීත හා චිත්‍ර කලා ගුරු පත්වීම ලැබ ඔහුට එහි යන්නට ඉඩ සැලසිණි.

පළමු බිරියගේ දරුවකුද නොලද ඔහු ඇය දික්කසාද කොට ගාල්ලේදී හමුවූ කර්ලැයින් ද සිල්වා නම් තරුණිය දෙවන බිරිඳ ලෙස විවාහ කරගත්තේය. ඇයට වසරකට පසු උදේ පාන්දරක පිරිමි දරුවෙකු ලැබිණ.

‘රංජිත් අරුණදීප’ යැයි ක-ුඩා පුතු  නම් කෙරිණි. එහෙත් දරුවා අසනීපව සිට වසර ගණනකට පසු හදිසියේ මියයාම ඔහුට දරාගත නොහැකි වූ දුකක් විය. ‘නිවී පහන නිවී ගියා’ යනුවෙන් වූ ගීතය ආනන්ද සමරකෝනුන් අතින් ලියැවුණේ එම පුතුගේ අකල් වියෝව නිසයි.

මෙකල ගාල්ලේ මහින්ද විද්‍යාලයේ සංගීත හා චිත්‍ර ගුරුවරයා ලෙස කළ ඉගැන්වීම ඔහුට වඩාත් ප්‍රියමනාප විය.

එසේ මහින්ද විද්‍යාලයේ සිසුන් හා ප්‍රියමනාප වූ හිතවතුන් ගැන ඔහු සඳහන් කරන්නේ සහෘද ගැස්මෙනි. ඒ සමඟම ආනන්ද සමරකෝනුන් තමනට මෙසේවූ දේශාභිමානි ගීතයක් ලියන්නට සිදුවුණු දිනය ගැනද මෙසේ සඳහන් කළේය.

‘ඉන්දියාවෙන් මෙරටට පාතැබූ හැටියේ පටන්ම මගේ හදවතේ බුර බුරා, නැගි හැඟීම් නිසා මට කිසි සැනසිල්ලක් නොවී.
ස්වදේශානුරාගික හැඟීමෙන් මහජනයා පුබුදු කරවිය හැකි ගීතයක අඩුපාඩුවද මගේ සිතේ තදින් බලපැවැත් වූයේය.

ඩී.ටී. ජයසූරිය මහතාද එවැනි ගීතයක ඇති අවශ්‍යතාව පෙන්නුම් කළ දින මම හොඳම පිස්සකු වීමි.

1940 ඔක්තොම්බර් මාසයේ 20 වැනි දින සවස ගෙදර ගියෙමි. මාගේ දිවයින පිළිබඳව ඇතිවූ උදාර සිතිවිලි හා සෞන්දර්ය පිළිබඳ රසික හැඟීම් කෙළවරක් නැත. කල්පනා කළෙමි. ඒ මේ අත ඇවිද්දෙමි. රාත්‍රියේ දහයේ පමණ සිට පහන් නිවා කළුවරේම කල්පනා කළෙමි. ඇඳට වී කල්පනා කළෙමි. තරමක නින්දක් ගියේය. අඩ සිහිනයකින් පෙනී ගිය පරිදි තනුවත් එයට සරිලන පද මාලාවක් සමඟ මේ ‘නමෝ නමෝ මාතා’ ගීය මනසේ සටහන් විණ. පසුදා උදේ එය ලීවෙමි. මේ ජාතික ගීය ප්‍රබන්ධ වුණු හැටියි.

පසුවදා මට එකළ ඉගැන්වූ මහින්ද විද්‍යාලයේ ළමයින්ට මේ ගීය උගැන්වූයෙමි. පසුව මේ ‘නමෝ නමෝ මාතා’ ගීය පිළිබඳ ගුණදෝෂ පිළිබඳ විවේචනයක් මාර්ටින් වික්‍රමසිංහ මහතාගෙන් බලාපොරොත්තු වූයෙමි. එහි කිසි අඩුපාඩුවක් ඒ මහතා සඳහන් නොකළේය.

මා විසින් ලියූ ‘කුමුදිනී’ පොතෙන් මේ ගීය ප්‍රචාරයට පත්වූ හැටියේම වාගේ 1946 දී එච්.ඇම්.වී. සින්දු තැටි කොම්පැණියේ ඉල්ලීමක් පරිදි එය තැටියකට දුන්නෙමි. ගුවන් විදුලියෙන්ද කිහිපවතාවක් ප්‍රචාරය කර හැරියෙමි.

එන්න එන්නම මහා ජනප්‍රියතාවය මේ ගීයට ලැබුණේය. බොහෝ දෙනා මේ ගීය ගයමින් උදම් වන අන්දම එකල මා දැක තිබේ.
කෙසේ වුවත් ‘නමෝ නමෝ මාතා’ ගීය මේ රටේ ජාතික ගීතය වශයෙන් පිළිගනිතැයි මොහොතකට මම නොසිතුවෙමි. එහෙත් එය පිළිගැණුනේ මහා ජනප්‍රියතාවය එයට එතරම්ම බලවත්වූ දෙයකැයි මම දැන් සළකමි.

මා මේ ගීය වැඩි වැදගත් එකක් හැටියට සලකන්නේ නැත. එහෙත් එය ස්වදේශානුරාගික හැඟීම් උපදවන හා එය කෙරෙහි ඇති ඇල්මෙන් ප්‍රබෝධවන සමූහ ගීයක් බව මම දනිමි.

බොහෝ දෙනා මේ ගීයේ ප්‍රාණවත්කම මඳ බව ගණ වැරදි බව පෙන්නුම් කරති. මට කරන්නට දෙයක් නැත.

ගයා, වයා මගේ අසිරිමත් සිරිලංකා දිවයින මෙය කියා ආඩම්බර විය හැකි ගීයක් මගේ පිස්සුව නියා එදා රෑ පාන්දර මහකළුවරේම ප්‍රබන්ධ වුණේය.

ගීය ප්‍රබන්ධ කරන මොහොතේ මා තුළ ඇතිවූ හැඟීම් හා ප්‍රාර්ථනාව පරිදිම ලංකා මාතාවට ගීතයෙන් කළ ඇයැදුමෙන් මහජනතාවට ශක්තියක් වේවා මෙන්න ඒ ගීය.


ලංකා ජාතික ගීය


“නමෝ නමෝ මාතා
අප ශ්‍රී... ලංකා
නමෝ නමෝ නමෝ නමෝ මාතා
සුන්දර සිරි බරිනී සුරැඳි අති සෝබමාන ලංකා
ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භූමිය රම්‍යා
අපහට සැප සිරි සෙත සදනා - ජීවනයේ මාතා
පිළිගනු මැන අප භක්තී පූජා - නමෝ නමෝ මාතා
ඔබවේ අප විද්‍යා-ඔබමය අප සත්‍යා
ඔබවේ අප ශක්තී-අප හද තුල භක්තී
ඔබ අප ආලෝකේ-අපගේ අනුප්‍රානේ
ඔබ අප ජීවන වේ-අප මුක්තිය ඔබ වේ
නව ජීවන දෙමිනේ - නැවත අප අවදිකරන් මාතා
ඥාන වීර්‍ය්‍යවඩ වමින රැගෙන යනු මැන ජය භූමි කරා
එක මවෙකුගෙ දරු කැල බැවිනා - යමු යමු වී නොපමා
පේම වඩා සැමභේද දුරැරදා
නමෝ නමෝ මාතා”


මෙම ගීතය ලංකාවේ ජාතික ගීතය වශයෙන් තෝරා ගැනීම ගැනද කියන්නට තිබෙන්නේ රසබර පුවතකි. ඉදිරි යුගයේදී නිදහස්වූ ලංකාවක් උදෙසා ජාතික ගීයක් තෝරා ගතයුතු  යැයිද එයට සුදුසු රචනා සැපයිය යුතු යැයිද ආණුඩුවෙන් මහජනයා වෙත නිවේදනයක් නිකුත්කර තිබිණ. ඒ අනුව සමහරු තම රචනා ඉදිරිපත් කළහ.

එම තරගයේ දී රටේ ජාතික ගීය ලෙස තෝරා ගැනීමට තරම් අභිමානවත් නිර්මාණයක් නොවූයෙන් කමිටුවේ සභාපති විසින් සුදුසු ගීයක් නිර්මාණය කර දෙන ලෙස ඉලංගසිංහ නොතාරිස් රාලහමිගෙන් ඉල්ලා සිටින ලදී. එම ඉල්ලීම ඉටු කරීමට නම් කමිටුවෙන් ඉල්ලා අස්වීමට අවශ්‍ය බව දැන් වූ නොතාරිස් රාලහාමි ඉන් ඉවත්ව ශ්‍රී ලංකා මාතා ගීය නිර්මාණය කළේය. එසේම රාලහාමිගේ ඉල්ලීම අනුව කමිටුවෙන් ඉල්ලා අස්වූ ලයනල් එදිරිසිංහ මහතා ඊට තනුව නිර්මාණය කළේය. එම ගීතය මුල්ම ජාතික නිදහස් උත්සවයේදී ගායනා කර තිබිණ. එහෙත් ඒ සමයේ එයට විරුද්ධව නැගුණු විරෝධතාවක් නිසා එය ඉවත් කෙරිණි. එම විරෝධය වූයේ මෙම ගීතය රචනා කළ ඉලංගසිංහ නොතාරිස් රාළහාමිත් සංගීතඥ ලයනල් එදිරිසිංහ මහතාත් ගීත තෝරා ගැනීමේ කමිටුවේ සාමාජිකයෝ වූ බව කියමිණි.

එම විරෝධය මත පදනම්ව මුදල් ඇමැති ජේ.ආර්. ජයවර්ධන මහතා ‘නමෝ නමෝ මාතා’ ගීය ජාතික ගීය වශයෙන් තෝරා ගැනීමට කටයුතු කළේය.

මෙම කාලය වනවිට ඉන්දියාවේ චිත්‍ර ප්‍රදර්ශන පවත්වමින් සිටි ආනන්ද සමරකෝන් මහතාගේ මේ ජයග්‍රහණය පිළිබඳව කර්ලැයින් සමරකෝන් මැතිනිය විසින් දන්වා යවන ලද්දේය. එහෙත් එයට ප්‍රතිචාර වශයෙන් එතුමන් ලංකාවට පැමිණියේ නැත.
මෙසේ කටයුතු කෙරීගෙන යද්දී ප්‍රථම රාජ්‍ය නිදහස් උත්සවය වර්ෂ 1949 පෙබරවාරි 4 වැනිදා කොළඹ ටොරින්ටන් පිටියේදී (දැන් නිදහස් පිටිය) පැවැත්වීමට ගරු ඩී.ඇස්. සේනානායක අග්‍රාමාත්‍යතුමා විසින් පත්කරන ලද අමාත්‍ය කමිටුව තීරණය කර තිබිණි.
එම අමාත්‍ය කමිටුවේ ප්‍රධානත්වය දැරූ මුදල් අමාත්‍ය ජේ.ආර්. ජයවර්ධන මහතාට මෙහිදී ප්‍රශ්නයක් වූයේ ‘නමෝ නමෝ මාතා’ ජාතික ගීය පුහුණු කරවා ගන්නේ කාටද කියාය. රචක ආනන්ද සමරකෝන් මහතා රටේ නැති නිසාවෙනි. මෙහිදී ජයවර්ධන ඇමතිතුමා කළේ ගුවන් විදුලියේ වෙළෙඳ සේවයේ රාජකාරී කරමින් සිටි තම හිතවත් විජේමාන්න මහතාට කතා කොට මෙය සිදුකර ගැනීමට සුදුස්සකු ගැන විමසීමය.

‘ආ ඔය කටයුත්තට ඉතාම සුදුසු පුද්ගලයා තමා පෙරඅපර දෙදිගට සංගීතය හදාරලා සිටින ගරු මර්සලින් ජයකොඩි පියතුමා. එතුමා බොරැල්ලේ සියලු සාන්තූවරයන්ගේ දේවස්ථානයේ ඉන්නේ. එතුමා හමුවුණාම ඔය වැඬේ අගේට කරවා ගන්න පුළුවනි.’යි ඒ මහතා කියා සිටියේය.

තම මෝටර් රථයෙන් බොරැල්ලේ සියලු සාන්තූවරයන්ගේ දේවස්ථානයට ගිය ජයවර්ධන ඇමතිතුමා පියතුමා හමු වූයේය. කරණාව කියා සිටියේය. මෙය පුහුණුකර දිය හැකිදැයි  විමසා සිටියේය.

්මම බොහොමත්ම කැමැත්තෙන් මේ කාරණාව ඉටු කරලා දෙන්නම්. මේක අපේ රටට ජාතියට උරදීමේ අවස්ථාවක්නේ.’ ඇමතිතුමාගේ ආරාධනය ගැන සතුටටපත් ජයකොඩි පියතුමෝ කියා සිටියහ.

‘බොහෝ ස්තූතියි පියතුමා. මං කල්පනා කරනවා මේක මියුසියස් බෞද්ධ බාලිකා විද්‍යාලේ සිසුවියන් ලවා පුහුණු කරවනවා නම් ඒ ගැන ඔබතුමාගේ අදහස කොහොමද?’යි එවර ඇමතිතුමා අසා සිටියේය.

‘මමත් ඒකට වඩාත්ම කැමතියි. එතකොට අපේ ජාතික ආගමික සබැදියාවන් තව තවත් වැඩි වෙන්න පුළුවන්.’යි පියතුමාගේ කීමෙන් සතුටට පත් ඇමතිතුමා එතුමා තම මෝටර් රථයේ නංවාගෙන කුරුඳුවත්තේ මියුසියස් බෞද්ධ බාලිකා විද්‍යාලයට එක්කරගෙන ගියහ.

ජයවර්ධන ඇමතිතුමා කෙසේ වෙතත් මෙසේ තම විදුහල්බිමට කතෝලික පූජකවරයෙකු වන ගරු මර්සලින් ජයකොඩි පියතුමා පාතැබූ බව එහි එවකට අධිපතිනියව සිටි ක්ලේරා මොව්වානි මැතිනියත් බාලිකාවනුත් අතිශය විස්මයට පත්වූහ.

එවේලේ ජයවර්ධන ඇමතිතුමා කළ ආරාධනය අනුව මියුසියස් බාලිකාවන් පනස් තුනක්ද තෝරාගෙන ඔවුනට ‘නමෝ නමෝ මාතා’ ජාතික ගීය පුහුණුකර වර්ෂ 1949 පෙබරවාරි 4 වැනිදා ප්‍රථම රාජ්‍ය නිදහස් උත්සවය අවසානයේ ගායනා කරවූයේ සංගීතඥ වී.ඇල්.ඒ. සෝමපාල, සංගීතයෙන් යුතුවය.

එහිදී එම මියුසියස් බාලිකාවන් පනස්දෙනා අතර සිටි නීටා කුමාරි තෙන්නකෝන් මෙනෙවියත් පසු කලෙක පිලපිටිය මැතිණිය වී මියුසියස් විද්‍යාලයේ විදුහල්පතිනි වූවාට පසුව ගරු මර්සලින් ජයකොඩි පියතුමා හමුවට පැමිණි අවස්ථාව අපට මතකය.

ඉන්දියාව, සිංගප්පූරුව මලයාසියාව ආදි රටවල චිත්‍ර ප්‍රදර්ශන පවත්වමින් සිටි ආනන්ද සමරකෝන් මහතා ලංකාවට පැමිණියේ මේ සිද්ධියෙන්ද පසුවය. ඒ වනවිට ලංකාවේ ජාතික ගීය නිර්මාණය කිරීම වෙනුවෙන් තිළිණයක් ලෙස රුපියල් 1250/-ක (එක්දහස් දෙසිය පනහක) මුදලක් පිරිනමන්නට රජයෙන් තීරණය කර තිබිණි. එය එකල හැටියට සෑහෙන මුදලකි.

එහෙත් එම ජාතික ගීතය පළමු “කුමුදිනී” නම් ගීත සංග්‍රහය තමන්ට අයිතිවාසිකම් ඇති ග්‍රන්ථයක් හෙයින් එම ත්‍යාග මුදලද හිමිවිය යුත්තේ තමන්ට බව එම පොතේ ප්‍රකාශක මරදානේ ටී.කේ.ඩබ්ලිව්. සිරිවර්ධන ප්‍රකාශක මහතා උසාවියෙන් ඉල්ලීමක් කර තිබිණ. මේ වනවිට පෞද්ගලික කරණු කීපයක් නිසා බලවත් සේ සිත් අමාරුවට පත්ව සිටි ආනන්ද සමරකෝන් මහතාට මෙයද හිත් වේදනාවට කාරණයක්ද විය.

නඩුවේදී කොපිරයිට් - නීතියට එකඟව “කුමුදිනී”හි සංග්‍රහයේ අයිතිය සම්පූර්ණයෙන්ම හිමි ප්‍රකාශක සිරිවර්ධන මහතාට පක්ෂව තීන්දුව දුන් විනිශ්චකාරතුමා “නීතියට අනුව කරුණු මෙසේ වුවත් මෙය ජාතික නිර්මාණයක් නිසා මෙම මුදලින් භාගයක්වත් සමරකෝන් මහතාට දුන්නොත් හොඳයි නේද?”යි සිරිවර්ධන ගෙන් මහතා අසා සිටියේය.

“ස්වාමීනි, මා එම අදහසට එකඟයි. මා කලින්ද සිතා සිටියේ මෙයින් භාගයක් සමරකෝන් මහතාට දෙන්නයි” යනුවෙන් සිරිවර්ධන මහතා කියා සිටියේය එය එසේම සිදුවිය.

පසු කලෙක සංගීතඥයකු වශයෙන්, චිත්‍රපට ගීත රචකයකු වශයෙන්, චිත්‍ර ශිල්පියෙකු වශයෙන් ආනන්ද සමරකෝන් සූරීන් රටේ සහෘද කලාකාමීන් අතර බෙහෙවින්ම ජනප්‍රියත්වයට පත්වූ නමුදු තමන්ටත් නොදන්වා පසුව ‘නමෝ නමෝ මාතා’ ගීයේ පද වචන වෙනස් කිරීම පිළිබඳව එතුමන් සිටියේ බලවත් කනස්සල්ලෙන් යුතුවය. එය එතුමන් සැලකුවේ ජාතික ගීයේ ගෙල සිඳ දමන්නක් ලෙසිනි. මේ වනවිට එතුමන්ගේ ආදායමද කෙමෙන් පහළට බැසගෙන ගොස් සිටි නිසාය. සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් තමනට ජීවත් වීමට රස්සාවක් හෝ දීමනාවක් හෝ ඉල්ලා ලිපියක් ලියන ලද්දේ එහෙත් එම ඉල්ලීම් දෙකින් එකක්වත් ඉටුවූයේ නැත. මේ තත්ත්වය යටතේ තම කලා ජීවිතය ගැනද අතිශයින්ම කලකිරීමටපත් සමරකෝන් මහතා වරෙක - මියයන්නට සුළු කලෙකට පෙර ජාතික ගීයේ පද රචනය වෙනස් කිරීම ගැන සඳහන් කරමින් “මෙයින් මගේ සිත තුළ හටගෙන ඇති බලවත් චිත්ත වේදනාව කවදාමුත් කෙලවර වන්නේ මගේ මරණයෙන් පමණක් බව මම දනිමි. මෙවැනි අපරාධ කෙරෙන සිත්පිත් නැති රජයක් යටතේ තවදුරටත් දිවි ගෙවනවාට වඩා මෙම මොහොතේම මියයෑම සැපතකි” යනුවෙන් ලියා තිබිණි.

ඉන් අනතුරුව ගතවූ දින කිහිපයකින් පසුව සිදුවූයේද එයමය. වර්ෂ 1962 අප්‍රේල් 2 වැනිදා සිය සොයුරන් සමඟ මාතාවගේ උපන්දින සාදයට සහභාගී වූ ඔහු එදින රාත්‍රියේ නුගේගොඩ පාගොඩ පාරේ “මාලනී” නම් වූ සිය නිවෙසට පැමිණ නින්දට ගියේය. පසුදා හෙතෙම අවදිවූයේ නැත. යාබද කාමරයෙහි නිදාහුන් කර්ලැයින් සමරකෝන් විසින් සොහොයුරු බර්ටි සමරකෝන් කැඳවනු ලදුව කාමරයෙහි දොර කඩා බලනවිට ඔහු බලවත් ලෙස නිද්‍රෝසහගතව හුන් බව දක්නට ලැබිණි. මද්‍යසාර බදුනක්, සිගරට් කොටයක්, නිදිපෙති කුප්පියක් ඒ අසල තිබෙනු දක්නා ලද්දේය. මෙයට පෙරද සමරකෝන් නිදිපෙති වැඩිපුර ගැනීම නිසා රෝහල් ගතකොට ප්‍රතිකාර ලබා සිටියේය. ඉන් එක් වරක් සිව් දිනක්ම සිහිසුන්වද සිටි බව හෙළිවිණ.

මේ හෙයින් වර්ෂ 1962 අප්‍රේල් 3 වැනිදා දහවල් 12.10 කොළඹ මහ රෝහලේ අංක 23 දරන වාට්ටුවට ඇතුළත් කරනු ලැබූ ආනන්ද සමරකෝන් මහතා 1962 අප්‍රේල් 5 වැනිදා සවස 6.15ට සිහි නොලබාම මියගියේය. මියයන විට ඔහුගේ වයස අවුරුදු 51කි.
නිදිපෙති 25ටත් 30ටත් අතර ප්‍රමාණයක් ගැනීම මරණයට හේතුව යැයි දොස්තර ඇම්. මනෝදරන් විසින් පෙන්වා දෙන ලදුව වුවද මෙය සියදිවි නසාගැනීමක් නොව අත්වැරැද්දකින් සිදුවූ මරණයකැයි හදිසි මරණ පරීක්ෂක ජේ.එන්.පී. කිරුචෙල්වම් මහතා තීරණය කරන ලද්දේය.

මෙහිදී මෙම ද්‍රවිඩ ජාතික වෛද්‍යවරුන් දෙදෙනා විසින් ගන්නා ලද්දේ රටේ මුළු කලා සංහතියටම අනුවේදනීය තත්ත්වයක් ඇති කරන ලද තීරණයකි.

නිදිපෙති වැඩියෙන් ගැනීම සියදිවි නසා ගැනීමක් ලෙස තීරණයක් ගැනීමට ප්‍රධාන වශයෙන්ම මුල්වන කාරණයක් වූ නමුදු එම වෛද්‍යවරුන් දෙදෙනා මෙසේ “අතපසු වීමකින් සිදුවූ මරණයක්” බවට වාර්තා තබා ඇත්තේ රටට ඉමහත් සේවයක් කළ ජාතික වීරයකුවන් පුද්ගලයකුගේ මරණය හෑල්ලු නොකිරීමේ සද්භාවයකිනි. එහෙයින් එම ද්‍රවිඩ වෛද්‍යවරුන් දෙදෙනාට කලාකාමී සිංහලයන්ගේ ප්‍රණාමය පුදකළයුතු වන්නේය.

අන්තිමයේ එතුමන්ගේ අවසාන කටයුතු - කලා භවනේ එතුමන්ගේ මිනිය තබා ගෞරව කිරීමෙන් අනතුරුව කොළඹ කනත්තේදී මහ සෙනගක් මැද ආදාහනය සිදු කෙරිණ.

එකල ප්‍රකට ලේඛකයකුව සිටි පියල් වික්‍රමසිංහ මහතා රිවිදින පත්‍රයට ලියූ ලිපියක් අවසන්කර තිබුණේ “සමරකෝන් මැරුණේ නැත. අපි ඔහු මැරුවෙමු. රජයත් පණ්ඩිතයනුත් එකතු වී ඔහු අමු අමුවේ මරා දැමූහ. ඔහු මලවුන් අතරය. අප මරුවන් අතරය.” යනුවෙනි.

පසු කලෙක ගුවන් විදුලිය ‘ආනන්ද සමරකොන්’ මැදිරියක් - රැස්වීම් ශාලාවක් ඇතිකර එතුමන්ට ගෞරව දැක්වූහ. නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයක් ඇති කළහ. ලියන්වල-වෑවල ආනන්ද සමරකෝන් විද්‍යාල දෙකක් නම් කර පවත්වාගෙන ගියහ. එහෙත් සහජ කලාකරුවකු අමු අමුවේම මරා දැමීම ගැන අපේ රටට ජාතියට කිසිදු සමාවක් දෙන්නට නම් බැරිය.
Post a Comment