Breaking News

Latest

බොරුවක් නොවෙයි බැරල් ඔරුවක් හදමුද?


1948 දී චීන විප්ලවය ජය ලබන විට චීනය ගංජා චතුරශ්‍රයට (ගංජා ජාවාරමත් ගංජා බීමත් බහුල වූ රටවල් හතරට) අයත් වූ රටකි. චීන ජනයා එකල ජීවත්වූයේ දහසකුත්-එකක් දුක්-කම්කටොළු හා අඳෝනා මැදය.
එවන් වූ චීනය 1952 දී මෙරට පැවැති (දිවංගත) අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතා ගේ රජය හා ඇතිකර ගත් ගිවිසුමක් යටතේ මෙරටින් රබර් ආනයනය කළ අතර මෙරටට හාල් අපනයනය කළේය. ඒ එවකට කෝටි 80ක් වූ චීන ජනයා බඩගින්නේ තබා නොව බඩ-කට පුරා බත් කන්නට උවමනා හාල් තොග ගබඩාවල තබා ගෙනයි.
මේ ගැනත් එකල කරනු ලැබූ චීන-ලංකා ගනු-දෙනු ගැන තවදුරටත් තොරතුරු දැන ගැනීමට රජයේ දෙපාර්තමේන්තුව එවකට පළ කළ පුවත් සඟරා පිංච ප්‍රයෝජනවත් වනු ඇත. එහි නම ලංකා හෝ ශ්‍රී ලංකාය.
එය මෙරට ගම්-දනව් පුරා බෙදා හරිනු ලැබූ අතර චීනයත් එහි තොරතුරු ඒ ඒ භාෂා මගින් ලොව පුරා බෙදා හැරීය.
ඒ වැඩකටයුත්තට කදිමට දායක වූ China Pictorial (චයිනා පික්ටෝරියල්) හෙවත් (රළු පරිවර්තනයක් මගින් කිව හොත්) චීනය පිංතූරවලින් නමැති තොරතුරු සඟරාව, චීනයේ දී ජයගත් විප්ලවය හේතුවෙන් එරට ගම්-දනව් හා නගර දියුණු වන ආකාරය ගැන කියා පෑමට යොදා ගත් ඡායාරූපවල බහුලව තිබූ ආකාරයේ තැනක් මහනුවර-අම්පාර මාර්ගයේ 71 වැනි 72 වැනි කි‍ලෝමීටර් කණු අතර දී හමුවන මහවැලි ගංගාවට කිට්ටු ම කිට්ටු තැනක දී දැකිය හැකි විය.
ඉකුත් දිනක දහවල් දුටු එතැන දී ගත් මේ ඡායාරූපයේ දැක්වෙන්නේ තනනු ලබන ඔරුවකි. මේ ඔරුව තනන්නේ ෆයිබර් බෝට්ටුවක් හෝ දැව ඔරුවක් හෝ ගැනීමට වත්කමක් නොමැති තැනකින් ලැබුණු ඇනවුකට අනුවය.
ඉවතලූ තාර බැරල් කිහිපයක් පලා ලබා ගත් තහඩු තලා ගැලපෙන කෑලිවලට කපා ඔරුවක් හැටියට මූට්ටුකර ගත හැකි බව මෙම ඡායාරූපයෙන් කියැවෙයි.
මහවැලි ගංගා ඉවුරේ තිබෙන වැලි තොටකට තවත් දින කිහිපයකින් පැටවෙන මෙම ඔරුව යෝග්‍ය තාක්ෂණය (appropriate technology) අපූරුවට ඔළුවට ගත් තැනක දී හැර හැම බඩකඩුත්තුවක් ම ආනයනය කළ යුතු ය යන චින්තනය ම කරපින්නා ගත් ඔළු තිබෙන තැනක දී දැකිය නොහැකි වෙයි.
චයිනා පික්ටෝරියල් තොරතුරු සඟරාවේ ආරම්භක කලාපයේ පටන් පළ කරනු ලැබූ හැම කලාපයක ම පළ වූ ඡායාරූපවලත් ඒවාට යටින් තිබූ වැකිවලත් බහුලව දැකිය හැකි වූයේ චීන විප්ලවයේ පුරෝගාමියා වූ මාඕ සේතුං (Mao Zedong) ගේ මගපෙන්වීම යටතේ චීන ඔළුවලට කාවැද්දූ (brainwashed) යෝග්‍ය තාක්ෂණය ගැන වූ කතා ම ය.
යොග්‍ය තාක්ෂණය ආධාරකර ගැනීමෙන් භාණ්ඩ ආනයනට වැය කළ යුතු වූ විදේශ විනිමය අඩුකර ගත් චීනය දේශීය නිෂ්පාදන ධාරිතාවය වැඩිකර ගැනීමේ ප්‍රතිඵලය මුළු ලෝකයා ම අද දකිති.
කණගාටුවට කාරණය වන්නේ, දැන් චීනය...., චීනය....? චීනය....! කියන-නොකියන බහුතරය චීනයේ ආරම්භය අධ්‍යයනය නොකිරීම යි.


Post a Comment