Breaking News

Latest

මොරටුවේ කැම්පස් සෙට් එකෙන් අමුතු ගැජට් සපත්තුවක්

දියවැඩියාව, අධි රුධිර පීඩනය, ස්නායු රෝග, පාකින්සන් වැනි තත්ත්වවලින් පෙළෙන රෝගීන්ගේ ඇවිදීමේ රටාව හා ක‍්‍රියාකාරකම් දුරස්ථව සිට නිරීක්‍ෂණය කිරීමට උපකාරීවන සංවේදක සපත්තු යුගලයක් මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු අංශය විසින් නිර්මාණය කරනු ලැබ තිබේ.
මෙම සපත්තු යුගල ත‍්‍රිමාණ මුද්‍රණ තාක්‍ෂණය උපයෝගී කරගෙන නිර්මාණය කර ඇති අතර සපත්තු යුගල අඩියෙහි සංවේදක අන්තර්ගතවේ.
ලෝකයේ දැනට ජනප‍්‍රිය වෙමින් පවතින තාක්‍ෂණයක් වන ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් තාක්‍ෂණය යොදාගත්, තාක්‍ෂණික සංවේදක හා සන්නිවේදන පද්ධතියක් ලෙස මෙය හැඳින්විය හැකිය.
මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ අවසාන වසර ව්‍යාපෘතියක් ලෙස ක‍්‍රියාත්මක වූ මෙම නිර්මාණයට පේෂාන් සම්පත්, එරංග ද සිල්වා සහ ලක්‍ෂිත සමීර යන අවසාන වසර ඉගෙනුම ලැබූ සිසුහු දායකවූහ. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ මෙකාට්‍රොන්ක්ස් අංශයේ සම්බන්ධීකාරක ආචාර්ය රංජිත් අමරසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ මෙය නිර්මාණය විය.

තාක්‍ෂණික සංවේදක හා සන්නිවේදන පද්ධතිය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය රංජිත් අමරසිංහ මහතා මෙසේද පැවැසීය.
“මුලින්ම අප ත‍්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය උපයෝගී කර ගෙන සංවේදක අන්තර්ගත කළ හැකි පරිදි සපත්තු දෙකක් නිෂ්පාදන කළා. එහිදී ස්පර්ශ සන්වේදක පාදයේ පතුලේ වැදගත් ස්ථානවලට සම්බන්ධවන පරිදි නිර්මාණය කළා.
ඇවිදීමේදි පාදයේ ඇතිවන බලයන්ගේ වෙනස්වීමේ දත්ත ස්පර්ශක සංවේදකවලින් ලබා ගන්නා අතර පාවහන්වල අඩියේ ඇති මයික්‍රෝ කොන්ට්‍රෝලයක් මත පදනම් වූ කුඩා පරිපථයකට ලබා දෙනවා. ඉන් අනතුරුව එම දත්ත බ්ලූටූත් තාක්‍ෂණය හරහා ඉනෙහි පළඳින කුඩා පාලකයක් වෙතට ගෙන්වා ගන්නවා. අනතුරුව ජංගම දුරකතන සංඥා  භාවිතා කර ඉන්ටර්නේට් ඔෆ් තින්ග්ස් සර්වරය වෙත විශ්ලේෂණය කිරීමට යවනවා“
‘‘පුද්ගලයකුගේ මැදිහත්වීමකින් තොරව, අන්‍යෝන්‍ය ලෙස හඳුනාගත හැකි එකිනෙක සම්බන්ධ පරිගණක උපාංග, යාන්ත‍්‍රික සහ ස්වයංක‍්‍රීය උපකරණ, ජීවී හා අජීවී වස්තූන් අතර දත්ත හුවමාරු කර ගත හැකි පද්ධතියක් ලෙස ඉන්ටනෙට් ඔෆ් තින්ග්ස් සංකල්පය හඳුන්වන්න පුළුවන්. එසේම ද්‍රව්‍ය ආකලන තාක්ෂණයක් වන ත‍්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය තුළින් ද නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ නව මංපෙත් විවර වෙමින් පවතිනවා. මෙම සපත්තු යුගල පැළැඳි පුද්ගලයා මොනයම් ක‍්‍රියාකාරකමක සිටින්නේද යන්න දුරස්ථව සිට ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් සර්වරය මගින් හෝ ඒ සඳහාම දියුණු කළ ඇන්ඩ්‍රොයිඞ් මෘදුකාංගය තුළින් දැනගැනීමේ හැකියාව පවතිනවා. උදාහරණයක් ලෙස ඇවිදීම, දිවීම, සිට ගැනීම, හිඳගැනීම සහ නිදාගැනීම වැනි ක‍්‍රියාකාරකම් දැක්විය හැකිය. තවද එම පුද්ගලයාගේ ක‍්‍රියාකාරකම් අන්තර්ජාල සර්වරය තුළ ගබඩාවීම සිදුවෙනවා.’’
‘‘රෝගියකු ශල්‍යකර්මයට පසුව සුවය ලබන කාලය අතරතුර ඔහුගේ ක‍්‍රියාකාරකම් දුරස්ථව සිට වෛද්‍යවරයාට නිරීක්‍ෂණය කිරීමටත් ඒවායේ වාර්තාවක් ලබා ගැනීමටත් එමගින් හැකිවෙනවා. අනතුරක් හෝ හදිසි අවස්ථාවක නම් කරන ලද පුද්ගලයකුට අනතුරු පිළිබඳව හා අනතුර සිදුවූ ස්ථානය පිළිබඳව ජී.එස්.එම්. තාක්‍ෂණයෙන් කෙටි පණිවුඩයක් ලෙස යැවීමේ හැකියාවද තියෙනවා. මෙම නිර්මාණය වයෝවෘද්ධ පුද්ගලයන් දුරස්ථව සිට නිරීක්‍ෂණය කිරීමේ පද්ධතියක් ලෙසද යොදාගැනීමේ හැකියාව තියෙනවා. මෙම නිර්මාණය ජපානයේ කියෝතෝ නුවරදී පරිභෝජන ඉලෙක්ට්‍රෝනික ක්ෂේත‍්‍රය සඳහා පැවැති පස්වැනි අන්තර්ජාතික සමුළුවේදී ඉදිරිපත් කිරිමටද අපට හැකිවුණා.’’
‘‘මෙය නිර්මාණය කිරීමේදී විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සනාථන මණ්ඩලය, යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ මෙකාට්‍රොනික්ස් විද්‍යාගාරයේ සලිත රණසිංහ හා චතුර ජීවන්ත යන මහත්වරුන්ගේ සහයෝගයත් උදවු උපකාර කළ සියලූ දෙනාම සිහිපත් කිරීමටත් මෙය අවස්ථාවක් කරගන්නවා.’’ යැයි ආචාර්ය රංජිත් අමරසිංහ මහතා පැවැසිය.

උපුටා  ගැනීම ලංකාදීප



Post a Comment