Breaking News

Latest

දොමා්දර පාළම යටින් ගිය ගමනක්


බි‍්‍රතාන්‍ය පාලන සමයේ ලංකාවේ විවිධාකාර සංවර්ධන ක‍්‍රියාවලි සිදුවිය. ඒ සියල්ලම ඔවුන්ගේ පහසුව වෙනුවෙන් සිදුවූ ඒවාය. ඒ අතර අදටත් අප භාවිත කරන විශ්මයජනක කර්තව්‍යය වනුයේ උඩරට දුම්රිය මාර්ගයයි. කිලෝමීටර 292 ක් දිග කොළඹ-බදුල්ල දුම්රිය මාර්ගයේ පිහිටි බිංගෙවල් ගණන 43 කි. අද අපේ ක‍්‍රියාදාමය නම් කි.මී. 9 ක් දුරැති ඔහිය-ඉදල්ගස්හින්න දුම්රිය මගේ චාරිකාවක් යමින් බිංගෙවල් 14 ක් හරහා යාම සහ දෙමෝදර ආරුක්කු නවයේ ඓතිහාසික පාලම යටට ගමන් කිරීමයි.

උඩරට දුම්රිය කොළඹ සිට බදුල්ලට යෑමට අවම වශයෙන් පැය 10ක් ගත වන අතර මුළු දුර කි.මී. 292 කි. සමස්ථ මාර්ගයේම මහා ගල් පර්වත විදිමින් සකස් කළ බිංගෙවල් ගණන 43කි. ඒ අතරින් දිගම බිංගෙය ඇත්තේ හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතරයි. එය ‘‘සිංගිමලේ’’ උමග ලෙස හඳුන්වන අතර සමස්ථ දුම්රිය මගේ 14 වැනි උමඟයි. එහි දුර මීටර 567 කි. දෙවැනි දිගම බිංගෙය නම් ඉහළකෝට්ටේ සහ බලන දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි ‘‘මීන්ගල්ල’’ බිංගෙයයි. එයද මීටර 423 ක දිගින් යුක්තය.

මේ බිංගෙවල් දෙක හරි අපූරු ලෙස වංගු සහිතව පිහිටා ඇත. තෙවැනි දිගම බිංගෙය කඩිගමුව දුම්රිය පළ කිට්ටුව තිබෙන අතර එහි දුර මීටර 382 කි. විටෙක පෙට්ටි 14-15 ගැටගසාගෙන යන උඩරට මැණිකේ දුම්රිය සම්පූර්ණයෙන්ම වසාගැනීමට මේ බිංගෙවල් ත‍්‍රිත්වයට හැකියාව ඇත. එලෙසම උඩරට දුම්රිය මගේ දුම්රිය ස්ථාන 2 ක් අතර පිහිටි වැඩිම දුර ඇත්තේ නානුඔය සහ අබේවෙල දුම්රිය ස්ථාන අතරයි. එහි දුර කිලෝමීටර 15කට වැඩිය.


මීට අමතරව මේ අතිසුන්දර දුම්රිය මගේ ඉදල්ගස්හින්න හා ඔහිය දුම්රිය ස්ථාන දෙක අතර වැඩිම බිංගෙවල් ගණනක් පිහිටා ඇත. එම ගණන 14 කි. එනම් බිංගෙවල් අංක 22 සිට 35 දක්වා ඇත. ඉන් දිගම බිංගෙය වනුයේ 29 වැනි බිංගෙයයි.


අද අපේ ක‍්‍රියාදාමය නම් උඩරට දුම්රිය මගේ දුම්රියේ ගමන් කරනවාට වඩා පයින් ඇවිද යමින් බිංගෙවල් පිළිබඳ දැන ගැනීමය. ඒ සඳහා ඔහිය සිට ඉදල්ගස්හින්න දක්වා සමස්ථ කිලෝමීටර 9 ක දුර යමින් බිංගෙවල් 14 ක් පිළිබඳ අත්දැකීම අපේ දෙපයින්ම විඳගැනීමයි. මීට අමතරව බි‍්‍රතාන්‍යයන් පවා මවිත කරවමින් විමලධර්මසූරිය විද්වතා විසින් සොයා ගෙන නිමවූ දෙමෝදර දුම්රිය ස්ථානයත් ආරුක්කු 9 විශාල පාලම යටට යෑමේ ක‍්‍රියාදාමය කිරීමට අප සූදානම්ය.

 

11-Page-22-S2-09


රාත‍්‍රී තැපැල් දුම්රියේ පැමිණ ඔහිය දුම්රිය ස්ථානයට ඔබට පාන්දර 4 පමණ වන විට ළඟාවිය හැකිය. පසුව ඉතිරි පැය කිහිපය එහිම ගෙවා උදෑසන 6 වන විට දුම්රිය මග දිගේ ගමන් කිරීමට පටන් ගැනීම උචිතය. ඒ සඳහා හිස් ආවරණයක් සහ පරණ කමිසයක් හැඳ යෑම සමහර විට කාලෝචිත වනු ඇත. දුම්රිය මග දිගේ යෑම සාමාන්‍යයෙන් ගමන් කරනවාට වඩා බොහෝ අමාරුය. මන්ද සිල්පර කොටන් උඩ පාද තැබීම අපගේ සාමාන්‍ය පියවර තබා යෑමට වඩා ඉතා කෙටි බැවින් දෙපා රිදීම ඉක්මන් වනු ඇත. පිලී මතින් බොහෝ දුර ගමන් කළ නොහැක. එම නිසා ඉඩ ඇති විගස පීල්ලට එහායින් පොළවේ ඇවිදගෙන යෑම ඉතා පහසුය. ලා හිරු කිරණ පින්න වැටුණු රේල් පීලි මතට කඩා වැටෙද්දී අපි හෙමිහිට වතුරට අඩි නොතබා අපහසු වුවත් සිල්පර කොටන් උඩ යෑමට තීරණය  කළෙමු. පොතු ගැලවී සුදු පාට කඳ සහිත මහ විශාල ගස් පිරුණු කැලෑ දෙපසම විය. ඔහිය සිට මීටර කිහිපයක් ගිය විගසම අද ගමනේ ප‍්‍රථම බිංගෙය මුණ ගැසුණි. පිටත සිට බලන කල ඇතුළත එකම අඳුරක් පමණි. විදුලි පන්දමක් රැගෙන යාම වටිනාම උදව්වක් බව සිහිවූයේ මේ අවස්ථාවේදීය.
එහෙත් අපට එය අමතක වූ බැවින් මීටර 2-3 පමණ පේන ජංගම දුරකථන එළිය පමණක් අපට පිහිටවිය. ජීවිතයේ පළමු වතාවට බිංගෙයක් ඔස්සේ ගමන් කිරීමට තිබුණේ කුතුහලය පමණි. උදෑසන 10 පමණ වනතුරු මේ මාර්ගයේ දුම්රිය ධාවනය නොවන බැවින් බිංගෙයක් ඇතුළදී අපට කරදරයක් සිදු නොවනු බව අපි දැනගත්තෙමු.


මේ බිංගෙය ඇතුළට ගිය පසු අප එකිනෙකාද පෙනෙන්නේ නැත. බිංගෙය දෙපසින් ජලය කඩා වැටෙන අතර සිල්පර කොටන් අතරමැද වවුල් වසුරු මිශ‍්‍ර ජලය පිරී පවතියි. උඩින් එල්ලී සිටින වවුලන්ගේ වසුරු ප‍්‍රහාර වලින් බේරී යායුතුවන්නේ වාසනාව පිහිටීම මතය. සිල්පර කොටන් මතින් හැරුණු විට වෙනත් යාමට මගක් ඇත. බිංගෙය ඇතුළේ ඉතා දුර්ගන්ධ වන අතර සුළු වෙලාවකින් එම දුර්ගන්ධයට ඔබ හුරුවනු ඇත. කෑලි කැපෙන අඳුරේ ඉදිරියට යත්ම නැවත එලිය දකින දර්ශනය ඉතා අලංකාරය. යන්තම් අතු පතර මැදින් කඩා වැටෙන හිරුරැුස් බිංගෙය උඩ සිට යටට ත‍්‍රිකෝණාකාරව වැටෙයි. උල්පත් ජලයෙන් වෑස්සෙන ගල්කුට්ටි මතින් ගලන ජලය පුංචි දිය පහරක් වී පහළ හෙලට ගලායයි.


ක‍්‍රමයෙන් බිංගෙවල් කිහිපයක් පසුකර යත්ම අප ඇතුල්වූයේ පසෙකින් කන්දත් අනෙත් පසින් හෙලත් සහිත දැවැන්ත වනාන්තරයකටයි. දකුණු පස වනය හෝර්ටන් තැන්නේ ඔහිය බෑවුමයි. මේ ප‍්‍රදේශයේ දුම්රිය මාර්ගය දෙපස මාරත්මල් ගස් දැකිය හැකිය. එලෙසම දෙපසම පිහිටා ඇත්තේ මීටර 50 කට වඩා උසැති සුදු පැහැති විශාල ගස්වේ. මේ ගස්වල දුඹුරු පැහැති කඳේ පොතු ගැලවී සුදු වර්ණය පෑදී තිබේ. වනය ඇතුළට වන්නට බොහෝ ගස් අකලට කඩාවැටී තිබුණි. නිතරම කඩාවැටෙන මේ දැවැන්ත ගස් නිසා දුම්රිය මග අනන්තවත් බධා සහිත වේ.


11-Page-22-S2-02


නිරන්තරයෙන් උල්පත් දියෙන් ඇදහැලෙන ජලදහරා නිර්මාණය කරන පුංචි පුංචි දිය ඇලි බොහොමයකි. කඩා වැටුණු ගස් යටින් ගලායන දොළ පහර සොයා ගැනීමටත් අපහසුය. ගස් ගල්, අතු රිකිලි වලට වැසී තිබෙන දිය දහරේ හඬ ඇසේ. එම දිය දහර දුම්රිය මග දෙපසට වැටෙයි. ඉන්පසු ගලාගෙන ගොස් වම් පස හෙලට එකතු වේ.


මේ කිලෝමීටර 9 අතර කිලෝමීටර 8 ක් පුරාවට කිසිදු ගෙයක් හෝ වැසියකු දක්නට නොලැබිණි. ඉතාමත් හුදෙකලා නිස්කලංක පරිසරයේ සීතල  ඕනෑවටත් වඩා අප ගත දැවටෙයි. විටින් විට මහ ගස් මුදුනින් පාත්වෙන මීදුම් පොදි තවත් සීතල තිව‍්‍ර කරයි.


අංක 29 බිංගෙය වූකලී මීටර 200 කට වඩා දිගැති දුම්රිය මගකි. මේ බිංගෙය ඇතුළේ මිනිසුන්ට වාඩිවී සිටිය හැකි කොන්ක‍්‍රීට් කනු තිබේ. එනම් දකුණු පස බිංගෙය ඇතුළේ මිනිසුන් කිහිප  දෙනකුට දුම්රියෙන් ආරක්ෂා වී සිටිය හැකිය. මෙලෙස කුටි සාදා තිබෙන්නේ දෛනිකව පාද චාරිකාවේ යන දුම්රිය සේවකයන්ගේ ගිමන් නිවා ගැනීමටත් ආරක්ෂාවත් සඳහාය.


ඇතැම් බිංගෙවල් උඩට අපි නැග්ගෙමු. කැමරාවේ කාලය ස්ථානගත කර අප සිව්දෙනාගේ ඡායාරූපයක් ගැනීමට උත්සහ කළත් එවා අසාර්ථක විය. ගල් කුට්ටි, පඳුරු මතින් නැග මහ විසාල ගල් විද සෑදු බිංගෙවල් උඩට අපි ගියෙමු. සෑම බිංගෙයකම ඇතුළුවීම හා පිටවීම එක හා සමානය. වෙනසකට ඇත්තේ දුම්රිය මගේ දුර සහ බිංගෙදර අංක සහිත නාම පුවරු පමණි.


බිංගෙවල් 2 ක් පමණ මීටර 30 ක් පමණ දිගවිය. පිටත සිට බලනවිට අනික් කෙළවරත් ඊට එහායින් පිහිටි අනිත් බිංගෙයත් දැකිය හැකිය. මෙම දුම්රිය මගේ මෙපමණ බිංගෙවල් සෑදීමට හේතුව නම් අධික කඳු පිහිටීමයි. විශේෂයෙන් හෝර්ටන් තැන්න පාදක වූ මේ කූඩැල්ලන් රහිත පරිසර පද්ධතියේ ශාක විවිධත්වය ඉතා වැඩිය. බිංගෙවල් 14 ක් සැදීමට විශාල කන්දක් 14 පලකදී විද මෙලෙස සකස් කොට ඇත.


විටෙක දුම්රිය මගේ ඉඳගෙන නිදා සිට ගිමන් හැරිය අතර වංගු ගැසී දිවෙන මේ මාර්ගයේ ඡුායාරූප බොහොමයක් අරගත්තෙමු. ක‍්‍රමයෙන් කිලෝමීටර 5 ක් පමණ ඇවිද ගිය පසු බිංගෙවල් 10 ක් පමණ අපි නරඹා ඇති බව දැනගත්තෙමු. දෙපා රීදීමක් තවමත් නොවුණු අතර දෙපස නිස්කලංක පරිසරයේ අසිරිය දුම්රියේ ගමන් කරනවාට වඩා අතිශය සුන්දරය. රිසි සේ පරිසරය නරඹමින් විටෙක අසල වනයේ ඇවිද යමින්ද හමුවුන පාලම් යටට ගොස් ගලායන සිහිල් ජලයෙන් මුහුණ, ගත සෝදා ගමන් කළෙමු. වවුලන්ගෙන් කරදර අපට සිදුවුණු අතර බොහෝ බිංගෙවල් තුළ විදුලි එළි පාවිච්චි නොකරම අප ගමන් කළෙමු. සැබවින්ම ත‍්‍රාසය මුසු ගමනකි. දුම්රියේ යන විට ‘‘හූ’’ කියමින් කෑ ගසන මගියන්ට වඩා මෙලෙස දෙපයින් ඇවිද යමින් මෙහි සැබෑ සුන්දර අත්දැකීම විඳීම සැබවින්ම අපූරුය.


අවසන් කිලෝමීටර 1.5 ගේ අපට කිසිදු බිංගෙයක් හමුනොවීය. එම ප‍්‍රදේශයේ ඉදල්ගස්හින්න ආශ‍්‍රිත තේ වතු සහ කම්කරු නිවාස දැකිය හැක. මේ පරිසරය හරිත පැහැ වියලි එකම පින්තාරුවකි. දෙපසින්ම තේ කඳු පිහිටා ඇති අතර පයිනස් කැළෑද දෙපස පිහිටා ඇත. පෙනි පෙනීම අප යන දුම්රිය මග ඉදිරියට මීදුම පාත්වුණි. ඉදිරියෙන් යන මිතුරන් නොපෙනෙන තරම් මීදුම අවට පැතිරුණි. හිරුඑළිය මෙතෙක් ප‍්‍රචණ්ඩව අත් නොවින්දත් මේ කොටසේ ඉහළින් නිරාවරණය බැවින් අපිව හොඳ හැටි පොළවට පතිත වේ. වම් පස හෙලට ආසන්න ගල් වැටි මත නැග අහස්කුසට අත්දිගු කරමින් මේ සුන්දරත්වයට ප‍්‍රියතාව එකතු කළ අපි තරගයට මෙන් සිල්පර කොටන් උඩින් ගමන් කළෙමු.


කෙසේ හෝ පැය 5 කට ආසන්න සුන්දර ගමනකින් පසුව මීදුමින් වැසුනු ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට අපි ළඟාවීමු. මංතීරු 3 ක් පමණ තිබුණද මුළු දුම්රිය ස්ථානයම සුදු මීදුමින් වැසී තිබුණි. ගෙවත්තෙ පලා වැලෙන් දිවි සරිකරගන්නා තේ දළු නෙළන ගම් වැසියන්ගේ පුංචි පැල්වලත් ඔවුන්ගේ සිත්හි තිබෙන අවිහිංසක බව මුහුණේ මැවෙන සිනාවෙන් අපට කියා පෑවේය.


ඊළඟට අපේ චාරිකාවේ නැවතුම්පළ දෙමෝදර දුම්රිය ස්ථානයයි. ඒ දෙමෝදර ආරුක්කු නවයේ අති දැවැන්ත මිනිස් නිර්මාණයයි. මේ ස්ථානයට යා හැකි මාර්ග 4 ක් තිබේ. දෙමෝදර දුම්රිය ස්ථානයේ සිට ආපස්සටත්, ඇල්ල දුම්රිය ස්ථානයේ සිට ඉදිරියටත් යා හැකි මාර්ග දෙකකි. එම මාර්ග දෙකම සමානව කිලෝමීටර 2 බැගින් රේල් පාර දිගේ ගමන් කළ යුතුය. නැත්නම් බදුලූ පාරේ දෙමෝදර හන්දියේ සිට ත‍්‍රිරෝද රථයකින් ආරුක්කු නවයේ පාලම අසලකට ආ හැකිය. අනෙක් මග නම් ඇල්ල නගරයේ සිට පස්සර පාරේ මීටර 300 ක් පැමිණ කිලෝමීටරයක් පමණ විශාල පයිනස් කැළයක් මැදින් වැටී තිබෙන අඩි පාර ඔස්සේ ආ හැකිය.


11-Page-22-S2-10


අපි දෙමෝදර දුම්රිය ස්ථානයේ සිට ආපස්සට එන්නට පටන් ගත්තෙමු. නැවතත් කිලෝමීටර 2ක් දුම්රිය මගේ ගමන යාම ඇරඹීමු. මේ මාර්ගය දෙපස තැනින් තැන නිවාස පිහිටා ඇති අතර ඒ ගම්වැසියන් සියල්ලම අපට තොරතුරු ලබාදුන්හ. මග දෙපස එතරම් සුන්දරත්වයක් නැතත් ඈතින් පෙනෙන කඳු මිටියාවතත් විටින් විට හමුවන දිය දහරවල් මවන කෝලම් රටාත් අපේ ඇසට ප‍්‍රියතාවක් ගෙනදුණි. විනාඩි 45 ක් පමණ ඇතුළත අපි නියමිත ස්ථානයට ආවෙමු. පාලම දෙපසින් බිංගෙවල් පිහිටා ඇත. මෙම ආරුක්කු නවයේ දැවැන්ත පාලම තනිකරම මිනිස් දෑතින් නිසි ප‍්‍රමිතියට නිර්මාණය කරන ලද මෙය තවමත් එදා මෙන් ශක්තියෙන් හා වර්ණයෙන් රඳා පවතියි. තව ටික වේලාවකින් දුම්රියක් එන බැවින් අප මීටර 30 ක් පමණ පාලම යටට බැස ගත්තේ බුරුල් ලිස්සා යන පසේ පාද හසුරවමිනි.


කෙසේ හෝ බලාපොරොත්තු වු පරිදි පොඩි මැණිකේ නිල් පාටින් සැරසී පීල්ල මතින් එනු අපි දුටුවෙමු. මෙවර එම දර්ශනය අප දකින්නේ පාලම යටට බැසගෙනය. නවීකරණය වූ පොඩි මැණිකේ දිලිසි දිලිසී ආරක්කු නවයේ පාලම උඩින් ලතාවට පැද්දෙමින් බදුල්ල කරා දිවයයි. දුම්රිය මැදිරි කවුළු වලින් පිටතට ඔළුව දමා පාලමේ අසිරිය බලන පිරිස පිරී ඇත. කවුළුවෙන්, පාපුවරුවෙන් අත එළියට දමා ජංගම දුරකථන වලින් කිටි කිටියේ ඡුායාරූප ගන්නා බොහෝ දෙනකු දැකිය හැකිය. පොඩි මැණිකේ අපි පසු කර ගිය පසු නැවතත් පාලම යට හෙලට ගමන් කිරීම ඇරඹුවෙමු.


ලඳු කැළෑ වැනි පඳුරු පද්ධතියෙන් සැරසුණු මේ හෙල පහළින් දිය දහරාවක් ගලා යයි. වැසි කාලයට ඉතා විශාලව ගලා යන මේ දියපහර මේ වන විට තරමක් කුඩා වී ඇත.  අපව පටන් ගැන්මේ සිට ලිස්සුව නිසා දෙඅතද පාවිච්චි කරමින් අපි පහළට බසින්නට වීමු. ලිස්සනසුළු පස් සහිත නිසා කෙසේ හෝ පහළට බැසගත් පසු අප ගියේ එහා පැත්තේ පරිසරය බැලීමටයි. අනෙක් පස එතරම් මගක් නොතිබුණු නමුත් පාලමේ ආරුක්කු නවය යනු ඉතා විශාල දැවැන්ත ගල් කුට්ටි වලින් නිමාවූ කණුය. එම දැවැන්ත කණු මැද එක සමාන කුහර තිබෙන අතර ඒවා දුම්රියේ යනෙන කාටත් පෙනෙන්නේ නැත. පාලමේ පළලින්ම ප‍්‍රධාන කණු 8 නිමා වී තිබෙන අතර එම කණු සියල්ලේම මැද වෘත්තාකාර කුහර එක පේළියට දැකිය හැකිය. පහළ පාදම පවා දැවැන්ත ගල් සමාන ප‍්‍රමාණවලින් සකස් කර ඇත.


ගල්කණු මත නැගීම අපහසුය. ගල් කණු 8 මවන ආරුක්කු 9 අසිරිය පහළ සිට බලන කල වෙනස්ය. මහා ගල් කණු එකින්නෙක උඩින් තියා අතීතයේදී මෙපමණ ශක්තිමත් බදාමයක් මගින් සෑදු සැටි අපූරුය. පාලමේ යටටම බැසගත් අප අඩි 4 ක් පමණ පළලින් දුප්පත්ව ගලා යන දිය දහරින් එහාට පැන්නෙමු. මේ අඩවිය නම් බොහෝ අනතුරුදායක බව අප දුටුවේ ඉහළින් පාලම යට කණ වල බැඳ ඇති අති දැවැන්ත මී වද 3 ක් සහ ඉතා විශාල දෙබර කූඩුවකි. අපි සියල්ලම නිශ්ශබ්ද විමු. පාලම උඩට යන තුරු කවුරුත් කථා නොකර සිටියේ හදිසියේවත් මීමැස්සන් සහ දෙබරුන් ඇවිස්සුනහොත් අපේ මරණය නියත වන බැවිණි. මී වද කෙතරම් විශාලද කියහොත් මී මැස්සන් වදයේ හැසිරෙන වේගය පහළ සිට බලන අපට රැුල්ලක් ලෙස පෙනේ. දෙබර කූඩුව අවටත් මී මැසි කූඩු අවටත් බොහෝ සතුන් පියඹමින් සිටි නිසා අප ඡුායාරූප රැගෙන හෙමි හෙමිහිට සද්ද නොකරම පාලම උඩට නැග ගත්තේ නැවතත් ලිස්සමිනි. එම ස්ථානයේ කෙසෙල් පැළ කිහිපයක්ද තිබුණු අතර පාලම උඩට ගිය පසු පාලමේ බැම්ම උඩට වී නිදා ගත්තේ දැඩි වෙහෙස නිවාගනු නිසාවෙනි.


දෙමෝදර පාලම යටට යෑම කළ හැකි ක‍්‍රියාවකි. එසේම ලිස්සන සුළු නිසා ගොඩක් පරිස්සම් විය යුතුය. මීළඟට අපි පාලම අසල සිට ඡුායාරූපගෙන අසල වූ බිංගෙයට ගියෙමු. ඒ අද දවසේ අප ගමන් කළ 16 වැනි බිංගෙයයි. උඩරට දුම්රිය මගේ සමස්ත බිංගෙවල් 43 න් 16ක් හරහා අප ගමන් කොට ඇත.


11-Page-22-S2-01


මෙතැන සිට ඇල්ලටත් දෙමෝදරටත් කි.මී. 2 බැගින් ඇත. තව දුරටත් දුම්රිය මග දිගේ ගමන් කිරීම අපගේ දෙපාවලට දැරිය නොහැකි බව දැනුණු නිසා අප මේ බිංගෙයට පෙර වම් පසින් පයිනස් කැළයට දිවයන කුඩා අඩි පාර ඔස්සේ ඇල්ල නගරයට යාමට තීරණය කළෙමු. දැවැන්ත ගස් වලින් අහස් කුස වසාගෙන සිටින නිසා මුළු කැළයම සෙවණය. මේ කුඩා අඩි පාරේ ගමන් කරන විට වම් පස මීටර 30 ක් පමණ ගැඹුරු හෙලක් තිබෙන බැවින් පරිස්සම් විය යුතුය. අවසානය වන තෙක් අඩිපාර සැකසී ඇති බැවින් විදේශිකයන් වුව තනියම මේ මාර්ගයේ යනෙනු දැක ගත හැකි විය. අඩි පාරේ තැනින් තැන ගස් කඩා වැටීම විටෙක සුන්දර විය. මන්ද මුළු පොළවම වසාගත් ගස්වල කොළ නිසා පොළව වැසී ඇත. කූඩැල්ලන් දක්නට නැති නිසා පහසුවෙන් අපට යා හැක. මෙය ඇල්ල නගරයට යන කෙටි පාරකි. කිලෝමීටර 1 ක පමණ දුරක් ඇති මෙම පාර විශාල කන්දක් වටා දිව යයි.


කෙසේ හෝ රාත‍්‍රී කොළඹ තැපැල් දුම්රිය අල්ලා ගනු වස් අප පය ඉක්මන් කොට අඳුරත් සමග ඇල්ල දුම්රිය ස්ථානයට පියමං කළෙමු. අප සමග මෙවන් චාරිකා යෑමට බොහෝ දෙනෙකු ප‍්‍රිය කරන වග මුහුණු පොතේ සඳහන් අදහස් වලින් අපට දක්නට ලැබිණි. 


Facebook Page Travl in SriLanka Sobasiri
Post a Comment