Breaking News

Latest

පේරාදෙණි සරසවියෙන් තවත් සුපිරි වැඩක්

විද්‍යාව, කලාව සහ ව්‍යාපාර අධ්‍යයනය මෙන්ම දේශපාලන සහ වෙනත් අංගයන්ගෙන් යුත් මානව අවශ්‍යතා ගොඩ නැගීමට රාජ්‍ය විශ්වවිද්‍යාල මගින් ලැබෙන්නේ මහත් පිටුබලයකි. එයින් ලැබෙන අවසාන ප්‍රතිඵලය සම්මතයට ගැළපේ. ජාතික වශයෙන් රටකට හෝ අන්තර්ජාතික වශයෙන් මුළු මහත් ලෝකයටම සංවර්ධන පිබිදිමට අවශ්‍ය ඉන් ශක්තිය ලැබෙන්නේය.
මේ බව සනාථ කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අවසාන වසර නිමකරමින් සිටින උපාධි අපේක්ෂකයෝ රැසක් පසුගියදා කොළඹ දි ඔවුන්ගේ හැකියාවන්, නිපුණතාවන් අධි සම්මේලනයක් පවත්වමින් ප්‍රදර්ශනය කළෝය. බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල සංකීර්ණයේදීය. විදුලි සහ විද්යුත් ඉංජිනේරු අධ්‍යයන අංශයේ සිසුහු මේ සම්මේලනය සංවිධානයට එක් වූහ. පර්යේෂණ කරමින් ඉදිරිපත් කෙරුණු ව්‍යාපෘතියන්හි ක්‍රියාකාරි සාර්ථකත්වය පැහැදිලි කිරිමේදී පැමිණ සිටි සියලු පාර්ශ්ව මවිතයට පත්වනු අපට දැකගත හැකි විය. අපේම තරුණ ඉංජිනේරු ප්‍රජාව ඉංජිනේරු තාක්ෂණය තුළින් ලොව ජය ගත හැකි මංමාවත් කිහිපයක් ව්‍යාපෘති රැසක් තුළින් ඉදිරිපත් කිරිම පිළිබඳව නිරික්ෂණය කිරිමටද අවස්ථාවක් සිළුමිණට උදාවිය.
තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායම් වශයෙන් ඔවුන් ව්‍යාපෘති තිහක් පමණ ඉදිරිපත් කර තිබිණි. ඒවා බොහොමයක්ම රටේ සංවර්ධනයට, ජාතික සංවර්ධන ව්‍යාපෘති සඳහාද අත්‍යාවශ්‍යම අංගයන් වීම විශේෂිතය.
ධාවනයේදී වාහනයේ බැටරියට අවශ්‍ය විදුලිය, රැහැන් නොමැතිව එකතු කිරීමේ විදුලි ආරෝපණ පද්ධතියකි. එය වර්තමානයට අවශ්‍යමයැයි පිළිගැනෙන ව්‍යාපෘතියකි. එය තවත් ආරෝපණ ක්‍රියාවලියකටම හාත් පසින් වෙනස්ය. වෙනස වාහනය ධාවනය වෙමින් පවතින අවස්ථාවේ දීම ආරෝපණය කිරිමට ඇති පහසුවයි. පළමුව ඒ අය සමග විස්තර කතා කළෙමු.
කණ්ඩායමේ නායකත්වය දැරුවේ චාමර ජයසේකර තරුණ ඉංජිනේරුවරයායි. විදුලි බලයෙන් වාහන ධාවනය කෙරුණත් බැටරියේ ක්‍රියාත්මක කෙරෙන්නේ කිලෝමීටර එකසිය පණහක් දෙසීයක් වාගේ දුරකට පසු නැවැත බැටරි ආරෝපණය කරන්න ආරෝපණ ස්ථානයකට යන්න වෙනවා. එය කාලය සහ විශාල මුදලක් වියදම් කරන්න සිදු වන දෙයක්. එ්ත් ඒ සඳහා රැහැන් ක්‍රමයක් භාවිත වෙනවා.
එවිට වාහන කිහිපයක් තිබුණොත් සේවා සපයන ස්ථානයේ කාර්යක්ෂමතාව සහ පහසුකම් අනුව කාලය තීර්ණාත්මක වෙනවා. රැහැන් නොමැති ආරෝපණ මධ්‍යස්ථාන තිබුණත් සේවා සපයන
ස්ථානයේ සපයන පහසුකම් මත කාලය තීරණය වෙනවා. අපේ ව්‍යාපෘතිය යටත් ධාවන තීරයක් තුළදී බැටරිය ආරෝපණය කළ හැකියි. රැහැන් නොමැති නිසා පහසුයි, ලෙහෙසියි. මෙවැනි ධාවන මං තීරු අවශ්‍ය වන්නේ අධිවේගි මාර්ගවලටයි. ධාවන තීරයේ සවි කෙරෙන චුම්භක පද්ධතිය වාහනයේ පහළ කොටසින් හෝ පැත්තකින් සවි කෙරෙන දඟර ස්වභාවයෙන් යුත් මෙවලමකින් ලබාගන්නා ආරෝපණය බැටරිය වෙත ලබා දීමට කටයුතු යොදා තිබෙනවා. බැටරියකට අවශ්‍ය ආරෝපණ ලබා ගැනීමට කිලෝමීටර් දෙකක් පමණ ධාවනය කිරීම සෑහෙනවා. මේ සඳහා ප්‍රධන විදුලියම අවශ්‍ය නැහැ. සුර්ය සහ සුළං බලශක්තිය වැනි විකල්ප ක්‍රම යොදාගන්න පුළුවනි. සමහර ප්‍රදේශවලට ප්‍රධාන විදුලිය නොමැති වුණාට ප්‍රශ්නයක් නැහැ. අපේ කණ්ඩායමේ මමත්, චාමර ජයසේකර, පී. බී. එස්. විජේසූරිය,
ටී. වයි. විජේගුණරත්න මෙණෙවිය යන පිරිසෙන් සමන්විතයි. ආචාර්ය ජානක විජේකුලසූරිය, ආචාර්ය එච්. ඒ. සුරවිර යන ජ්‍යේෂ්ඨ කතිකාචාර්යවරු අපට උදව් කළා.
මිනිසාට ළඟා නොවිය හැකි හෝ සමහර විට විෂ සහිත පෙදෙස්වල නිරීක්ෂණ කටයුතු සදහා වූ රොබෝ යන්ත්‍රයක් නිමවා තිබුණි. අධෝරක්ත සංවේදී ත්‍රිමාණ රූප සංඥා ලබාදෙන කැමරාවක් සහ අධි සංවේදී කම්පන ලබාගත හැකි ශබ්ද විසුරුවන සංඥා පද්ධතියකින් හෙබි මේ යන්ත්‍රය ආපදා අවස්ථාවලදී ප්‍රයෝජන ගැනීමට නිපදවූවකි. විශේෂයෙන්ම උමං තුළ, පතල් තුළ ජල කාන්දු, ඉරිතැළීම් සහ වෙනත් අපදා නිරික්ෂණ කිරීමට කදිමය. විෂ වායුන් සහ අඳුර තුලින් පැහැදිළිව ගමන් ගත හැකි වීමත් යන්ත්‍රය කුඩා වීමත් නිසා පොඩි ඉඩකදී මැනවින් ප්‍රයෝජන ගත හැකි වීම විශේෂ ලක්ෂණයකි. අවශ්‍ය විටදී ඩ්‍රෝන යානයක් ලෙස ලෙස වැඩි දියුණු කිරීමට ද පුළුවන. විශේෂයෙන් පතල් කැණීම්වලට මහෝපකාරිය. නාය යෑම් ස්ථාන හඳුනාගැනීමටත් අවශ්‍ය විටදී ජලය පිරි ඇති ස්ථාන තුළ කිමිදීමට පවා හැකියාව ඇති ලෙස නිමවා තිබීම තවත් විශේෂත්වයකි.
මේ සා විශාල ව්‍යාපෘති නිපැයුම් සදහා නායකත්වය දුන් ප්‍රධාන පුද්ගලයා හමුවුයේ තරුණ ඉංජිනේරුවරුන්ගේ හැකියාවන් විස්තර ලබා ගන්නා අතරතුරේ දීය. ඔහු 1992 වසරේදී කථිකාචාර්යවරයකු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විදුලි සහ විද්යුත් දෙපාර්තමේන්තුවට එක්වූවෙකි. ඒ මහචාර්ය ජනක බණ්ඩාර ඒකනායක මහතාය. වසර විසි පහකට වඩා අත්දැකීම් ඇති ඔහු ඒ අතරතුර දී එක්සත් රාජධානියේ කාඩිෆ් විශ්වවිද්‍යාලයටත් සේවය සපයා ඇත.
නිපුණතා ව්‍යාපෘති ප්‍රදර්ශනය පිළිබඳවත් වත්මන් තත්ත්වය පිළිබඳව මහචාර්ය ජනක බණ්ඩාර ඒකනායක මහතා අදහස් ප්‍රකාශ කළේ මේ ආකාරයටය.
"විශ්වවිද්‍යාලයකින් කෙරෙන්නේ පර්යේෂණ ඇසුරෙන් කෙරෙන නිර්මාණයි. එය ඉගෙනුම හරහා කළ යුතු දෙයක්. ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් විශ්වවිද්‍යාලයෙන් සපයනවා. වසරින් වසර ඉදිරිපත් කෙරෙන ව්‍යාපෘති වෙනුවෙන් නව එක් කිරිම් ඊළඟ වසරේ කණ්ඩායම් විසින් සිදු කරණු ඇති. ප්‍රදර්ශනයේ සාර්ථකත්වය නව ව්‍යාපෘති, දේශිය කර්මාන්ත වෙනුවෙන් එක් කිරිමට ඇවැසි ප්‍රදර්ශනයක් ලෙස මේ ප්‍රදර්ශනය ක්‍රියාත්මක කිරිමයි. රජයේ හා පෞද්ගලික ආයතන, ඔවුන්ට ලබාගත හැකි සේවාවන් මෙතැනදී හඳුනාගන්නවා. විශ්වවිද්‍යාලයට තේරි, එහි ඇතුල් වන්නේ සම්ප්‍රදායික පාසල් අධ්‍යාපනයෙන් සුදුසු විෂයයන්ගෙන් ඉහළ අගයයන් ගත් අයයි. ඒ අයට වඩා ක්‍රමවත් නිපුණතා පුහුණුවක් ලබා දීමට විශ්ව විද්‍යාලයේ අපි බැදී සිටිනවා. දැනුම කුසලතාව සමග ආකල්ප වඩවාගැනිම සඳහා පසුබිම ඉන් ලැබෙනවා. ඒත් වර්තමානයේ උසස්පෙළ හදාරන සිසුන්ගේ පොදු හැඟීම හෙවත් වැටහෙන නුවණ පිළිබඳව දැනුවත් වීම ඉතා දුර්වලයි. දෙමාපියන් සිටින්නේ විෂයයකට ලකුණු සියය දක්වා ගත යුතුයි යන මානසිකත්වයේ. මෙසේ සිදු වන්නේ ඒ තරගකාරි අධ්‍යාපන රටාව නිසා විය හැකියි. දරුවා පොදු හැඟිම පිළිබඳව දැනුවත් කරන්නේ නැහැ. පාසල් පද්ධතිය තුළදීත් පොදු හැඟිම පිළිබදව ළමයින් දැනුවත් කිරීම් වැදගත් වෙනවා.
පාසල් සිසුන් වෙනුවෙන්ද ප්‍රදර්ශනය විවෘතව පැවැතුණි. කොළඹ අවට පාසල් සිසු සිසුවියන් සිය ගණනක් මේ ප්‍රදර්ශනය නැරැඹුයේ මහත් ආශාවෙන් සහ උනන්දුවකින් යුක්තවය. සමුහ වශයෙන් සිටි ඔවුන්ගෙන් ලැබු අදහස් ඉතා ධනාත්මකය. ඔවුන් කියා සිටියේ පාසල් අධ්‍යාපනයෙන් එහා පිවිසිය හැකි මාවත් ඉතා සුන්දර බවය.
Bio Medical Engeneering Department අංශයේ අධ්‍යයනෙහි නියුතු කණ්ඩායම නිර්මාණය කර තිබුණේ ගර්භණි අවස්ථාවේ දී කාන්තාවකගේ උදරයේ වැඩෙන ළදරුවාගේ සෞඛ්‍ය තත්ත්වය නිරික්ෂණය කිරීම වෙනුවෙන් සකස් කෙරුණු වෙද නළාවන් කිහිපයත් පරිගණකයක සම්බන්ධතාවක් හරහා ලබා ගන්නා සංඥා විශ්ලේෂණ දත්ත උපයෝගි කර ගනිමින්ය. උදරයේ සිටින ළදරුවාගේ හෘදය ස්පන්දනය, මවගේ හෘදය ස්පන්දනයෙන් වෙන් කරගැනීම සඳහා විව්‍යහාරික ගණිත ක්‍රමයක් උපයෝගි කරගෙන ඇත. මෙහිදී කිසිදු සංඥා ක්‍රමයක් හෝ ශරීර ගත කිරීමක් නොමැතිය. සාමාන්‍ය‍යෙන් වෛද්‍යවරුන් විසින් සිදු කරනු ලබන්නේ අල්ට්‍රා සවුන්ඩ්, FECG හෝ පීනරඩ් සවුන්ඩ් නමැති නලාවක් උදර කොටසට තබා හෘදය ස්පන්දනය පරීක්ෂා කිරීමයි. සමිත් අබේගුණරත්න, ගිහාන් වනිගසේකර, හසිත විමලරත්න ව්‍යාපෘතිය ගොඩනැගූ පිරිසයි. පේරාදෙණිය රෝහලේ වෛද්‍ය චතුර රත්නායත අත්හදා බැලීම් සහ ප්‍රායෝගික අවශ්‍යතා සඳහා ඔවුන්ට සහාය වී තිබේ. මේ ව්‍යාපෘතිය සඳහා වැය වී ඇත්තේ රුපියල් පන්දාහකටත් වඩා අඩුමුදලකි. මේ ව්‍යාපෘතිය වෙනත් කිසිවකු විසින් ජනගත කර නැති බව ඔවුහු පවසති.
ත්‍රිරෝද රථයකට සමාන්‍ය බැටරියක් සහ සුපර් කැපෑසිටරයක් (විශාල විදුලියත් ගබඩා කළ හැකි විද්යුත් මෙවලමකි) සහ මෝටරයක් එකතුව නොකඩවා විදුලිය සපයමින් විදුලියෙන් පමණක් ධාවනය කළහැකි වන ආකාරයේ මෙවලමක් සාදා තිබුණි. වොල්ට්ස් හතළිස් අටක විදුලි ධාරිතාවක් අවශ්‍ය වන ආකාරයට බැටරියෙන් සහ විදුලිය ගබඩා කෙරෙන කැපෑසිටරය මගින් මෝටරයට අවශ්‍ය විදුලිය ලබා දෙයි. තිරිංග තද කෙරෙන විට විදුලිය උත්පාදනයක් ඇති වී බැටරිය ආරෝපණ ක්‍රියාවලිය සිදු කරයි.
විසර්ජනය සහ ආරෝපණ ක්‍රියාවලිය මත, බාධාවකින් තොරව ඕනෑම දුර ප්‍රමාණයක් ධාවනය කිරිමට හැකියාව ලැබේ. ඉන්ධන සඳහා මුදලක් වැය නොවේ. අවශ්‍ය කාලයට නඩත්තුව පමණක් සැහේ. හයිබ්‍රිඩ් වාහනයක සවිකෙරෙන බැටරි පද්ධති මිලෙන් ඉහළය. ධාවනය කළ හැක්කේ සීමිත දුර ප්‍රමාණයකි. මේ පද්ධතියේ නිෂ්පාදන වැය වීම පහෙන් එකකටත් වඩා අඩුය. රුපියල් ලක්ෂ දෙකකින් පමණ මේ මෙවලම සාදාගැනීමට හැකිය. අවශ්‍යතාවක් ඇති ඕනෑම ආයතනයකට මේ තාක්ෂණය ලබා දීමට ඔවුහු කැමැත්තෙන් සිටිති. මෙය ඉෂාන් කරුණාරත්න, තරිඳු ජයරත්න, දිනිත්අමරතුංග යන තරුණ ඉංජිනේරුවරුවරුන්ගේ නිර්මාණයකි.
ඡායාරූප සහ සටහන
පන්නිපිටිය විශේෂ 
අනිල් ලසත් පෙරේරා
Post a Comment