Breaking News

Latest

යුද්දෙට ගිය සත්තු

මිනිසුන් අවි අමෝරා ගනිද්දී සතුන් ද ඒ සටනේ කොටස්කරුවන් කර ගත් අවස්ථාවන්ට ඉතිහාසය සාක්ෂි දරයි. ඇතැම් සතුන් සටන්වලට උරදී ඇත්තේ හමුදා සෙබළුන්ටත් වඩා වීරකම් පාමිනි. ඒ නිසා උන් සාජන්ට්, මේජර් දක්වා ඉහළම නිල පදවි පවා දරා තිබේ. සුනඛයාගේ සිට පරවියා, ඉබ්බා, ඩොල්‍ෆින් දක්වා වූ අහස, මහපොළොව, සයුර වාසය කරගත් සතුන්ට යුද වැදීමේදී මිනිසාගෙන් ගැලවීමක් නම් තිබී නැත.
යුද්ධයට ගිය සුනඛයන් ගැන කතා කිරීමේදී අංක එකට එන්නේ සාජන්ට් ස්ටබීය. ස්ටබි සුනඛයා ඉපදුණේ 1916 වසරේ හෝ 1917 වසරේදී බවට අනුමාන කරන අතර ඌ අයිති වුණේ බුල් ටෙරියර් සුනඛ පවුලටය. මහ මඟ අනාථ වී සිටි ස්ටබිට 1917 ජූලි මාසයේදී නිවහනක් ලැබුණේ යේල් සරසවි බිමේ දඩාවතේ ඇවිදිමින් සිටියදී ය. කෝප්‍රල් රොබට් කොන්රේට ස්ටබිගේ සැඟවී තිබූ යුද දස්කම්වල ඉව දැනීමෙන් ඌ හොර රහසේම ඇති දැඩිකර පුහුණුව ලබාදෙන ලදී. 102 පාබළ සේනාවට අයත් සුනඛයකු බවට ස්ටබි පත්විය.
යුදබිමේදී ස්ටබි අනතුරට ලක්වූ වාර අනන්තය. ජර්මානු සොල්දාදුවකු එල්ල කළ ග්‍රෙනේඩ් පහරකින් මුලින්ම ඌ තුවාල ලැබීය. ඊළඟට විස වායුවකින් අනතුරට ලක්විය. ඊට ප්‍රතිකර්මයක් ලෙසින් ඌට විශේෂ ආරක්ෂක මුහුණු ආවරණයක්ද හමුදාව විසින් සකසන ලදී. කාලතුවක්කුවකින් උණ්ඩයක් නිකුත්වීමට පෙරම හඳුනා ගැනීමේ පුදුම ඉවක් ස්ටබිට ‍තිබිණි. ස්ටබි පෑ යුද වීරකම් අතරේ රන් අකුරින් ලියැවුණු හපන්කමක් වූයේ ජර්මානු ඔත්තුකරුවකු තනිවම අල්ලා ගැනීමයි. මේ වීරකම නිසාම ඌට වීරක්‍රියාවලට ලැබුණු පදක්කම් සහිත කබායක්ද ලැබිණි. චතියෝ තෙයිරි නම් ප්‍රංශ නගරය නැවත අල්ලා ගැනීමේදී උගෙන් ලැබුණු සහාය නිසා එම නගරයේ කාන්තාවන් විසින් විශේෂයෙන්ම මේ කබාය මසා දෙන ලදී. එම නගරය නිදහස් කර ගැනීමට යාමේ දී ග්‍රෙනේඩයක් වැදී ස්ටබිගේ පාදයක් තුවාල විය.
පළමුවැනි ලෝක යුද්ධයේදී ස්ටබි යුද මෙහෙයුම් දාහතකට සහභාගී විය. විස වායු ප්‍රහාරයේදී ඌ සිය මිනිස් රෙජිමේන්තුව බේරාගත් වීරයා විය. මේ සියලු හපන්කම් නිසා යුද්ධයෙන් පසු ඌ මවුබිමට පැමි‍ණියේ අමෙරිකානු ජනතාවගේ ආදරණීය සුනඛයා බවට පත්වෙමිනි. බොහෝ පෙළපාලිවල ඌ ඉදිරිපෙළ සාමාජිකයා බවට පත්විය. සුනඛයන්ට යාමට අවසර නැති තරු පහේ සුපිරි හෝටල් වැනි තැන්වලටත් යාමට ඌට අවසර ලැබිණි. වි‍ශේෂයෙන්ම ඒ යුද්ධය සම්බන්ධ කටයුතුවලට යාමේදීය.
ධවල මන්දිරයට ඌට දෙවරක් යාමට අවසර ලැබිණි. එරට ජනපතිවරුන් තිදෙනෙක්ම මුණ ගැසීමට හැකිවිය. වුඩ්රෝ විල්සන්, කැල්වින් කුලිජ්, වොරන් ජී. හාඩිං එම ජනපතිවරුන් තිදෙනායි. ජෙනරල් ජෝන් ජේ.පර්ෂිං විසින් ස්ටබිට රන් පදක්කමක් තිළිණ කරන ලදී. එම අවවස්ථාවේදී ගත් සේයාරුව අතිශයින් ජනප්‍රිය විය.
ස්ටබිගේ හාම්පුතා රොබට් කොන්රෝ යුද්ධයෙන් පසු ජෝර්ජ් ටවුන්හි නීති විද්‍යාලයට බැඳුණු අතර ඌද ඔහු සමග ජීවත්විය. ස්ටබි ජෝර්ජ්ටවුන්හි හොයාස් ක්‍රීඩා කණ්ඩායමේ අභිමානවත් ලකුණ බවට පත්විය. ජීවිතයේ සැඳෑ සමය ස්ටබි ගත කළේ පාපන්දු ක්‍රීඩා තරග පැවැත්වෙන අවස්ථාවේ තරග බිම වටා දුවමින් නරඹන්නන් විනෝදවත් කිරීමටයි.
යුද්ධයෙන් කිසිවකු දිනන්නේ නැතත් යුද්ධය නිසා ලොවක හදවත් දිනූ ස්ටබි සුනඛ වීරයා 1926 දී නින්දේදීම සමු ගත්තේය. මිය යනවිට උගේ වයස අවුරුදු 9 – 10 ක් පමණ විය.
නිව්යෝර්ක් ටයිම්ස් සඟරාවේ ස්ටබි ගේ මරණ දැන්වීම පිටු භාගයක් පුරා පළ කර තිබිණි. එවැනි මරණ දැන්වීමක් එකල පළ කෙරුණේ නම් දැරූ පුද්ගලයන්ගේ පමණි.
ස්ටබි මිය ගියත් අදටද ඌ වෙනුවෙන් කෙරෙන ගුණ වැනුම්වලින් අඩුවක් නැත. ස්ටබි ගැන මේ වන විට කෘති හතරක් පමණ ලියවී තිබේ. ‘සාජන්ට් ස්ටබි ඇන් අමෙරිකන් හීරෝ සජීවීකරණ සිනමා පටය 2018 අප්‍රේල් 13 වැනිදා තිරගත වීමට නියමිතය. අමෙරිකානු ඉතිහාසය වෙනුවෙන් ඇති ස්මිත්සෝනියානු කෞතුකාගාරයේ ස්ටබිගේ සම රැගෙන චර්ම ශිල්පී රුව අදටත් දැකගත හැකිය.
ස්ටබි තෙවරක් වෘතාන්ත සඳහා රංගනයෙහි යෙදී ඇති අතර ඒ වෙනුවෙන් ඩොලර් 62.50ක මිලක් ලැබී තිබේ. එය සාමාන්‍ය අමෙරිකානුවකුගේ වැටුපට වඩා දෙගුණයක මුදලකි.
සාර්ජන්ට් රෙක්ලස් අශ්වයා කොරියානු යුද අශ්ව වීරයකි. වෙලඹක් වූ ඌ යුද බිමට යාමට හොඳින් පුහුණු කරනු ලැබූවෙකි. 1952 යුද්ධයේදී රෙක්ලස් පනස් එක්වරක් යුද බිමට ගොස් තුවාල ලත් සෙබළුන් ඉවත්කර තිබේ. උගේ වීරත්වය නිසා ලයිෆ් සඟරාව මඟින් අමෙරිකානු සදාකාලික වීරයන් සිය දෙනා අතරට රෙක්ලස්ගේ නම ද ඇතුළත් කර ඇත.වසර 19,20ක් පමණ ජීවත් වූ වීර රෙක්ලස් 1968 දී මිය ගියේ ආතරයිටිස් රෝගය වැලඳී වැටී තුවාල වීමෙනි.
චෙර් අමි පරවියා පළමුවෙනි ලෝක යුද්ධයේ වීරයෙකි. ඌ අමෙරිකාවේ වැදගත් හමුදා පණිවුඩ රැගෙන ගියේ ය. පරෙවි ධේනුවක් වූ ඌ මෙසේ පණිවුඩ රැගෙන යාමෙන් ජීවිත 200ක් පමණ බේරාගෙන තිබේ. ඌගේ සිරුර ද සාජන්ට් ස්ටබිගෙන් මෙන් ස්මිත් සෝනියන් කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. ඌ මිය ගියේද යුද්ධයේදී උණ්ඩයක් වැදී ඇති වූ තුවාලයකිනි.
අන්තර්ජාලයෙනි
Post a Comment