Breaking News

Latest

නිව්ටන්, අයින්ස්ටයින්, මාරි කියුරි, ස්ටීවන් හොව්කින්ස් වගේ විද්‍යාඥයන් ගැන නොදන්නා අය අපේ රටේ වුණත් ඉන්නේ

නිව්ටන්, අයින්ස්ටයින්, මාරි කියුරි, ස්ටීවන් හොව්කින්ස් වගේ විද්‍යාඥයන් ගැන නොදන්නා අය අපේ රටේ වුණත් ඉන්නේ බොහොම සුළු පිරිසක් විතරයි. ශ්‍රී ලාංකික විද්‍යාඥයන් බොහෝ දෙනෙකුත් ලෝකය පුරාම ගෞරවයට පාත්‍ර වෙලා තියෙනවා. නමුත් අපේ රටේ අය අතරින් ඔවුන් ගැන දන්නේ නම් ඉතාම සුළු පිරිසක් විතරයි.
මෑත කාලීනව ශ්‍රී ලාංකික විද්‍යාඥයන් ගැන සුවිශේෂී කතා බහක් ඇති වුණේ ආචාර්ය රංග ඩයස් මහත්මයාගේ දායකත්වයෙන් ලෝහමය හයිඩ්‍රජන් නිපදවන්න හැකියාව ලැබුණු නිසයි. ආචාර්ය අයිසැක් සිල්වේරා මහතාත් එක්ක එකතු වෙලා එතුමා කරපු මේ පරීක්ෂණය භෞතික විද්‍යාවේ නව පිටුවක් පෙරලූ අවස්ථාවක් විදිහට ලෝකය පුරාම අවධානයට ලක් වුණා. ඒ පරීක්ෂණය ගැනයි, ලෝහමය හයිඩ්‍රජන් වල වැදගත්කම ගැනයි වැඩි විස්තර දැන ගන්න කැමති නම් අපි පළ කරපු මේ ලිපිය කියවා බලන්න පුළුවන්.
මීට අවුරුද්දකට වගේ ඉහතදී තවත් ශ්‍රී ලාංකිකයෙකු වන ආචාර්ය නිපුනි පල්ලියගුරු මහත්මිය ඒ අවුරුද්දේ වැදගත්ම භෞතික විද්‍යාත්මක සොයා ගැනීම වුණු ගුරුත්වාකර්ෂණ තරංග (Gravitational Waves) සොයා ගැනීමේ පරීක්ෂණයට දායක වුණා. මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් මහතා තමන්ගේ සාමාන්‍ය සාපේක්ෂතාවාදය යටතේ න්‍යායාත්මකව පුරෝකථනය කරපු මේ සංසිද්ධිය පර්යේෂණාත්මකව ඔප්පු කරගන්න ඇය විශාල දායකත්වයක් ලබා දුන්නා.
ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් විද්‍යාවේ උන්නතිය වෙනුවෙන් සැලකිය යුතු දායකත්වයක් ලබා දීලා තියෙනවා. මේ ලිපියෙන් අපි ඔබට කරුණු ගෙන එන්නේ ඒ අතරින් වැදගත්ම ප්‍රාඥයන් කිහිප දෙනෙකු ගැනයි. මොවුන් සියලු දෙනාම විද්‍යාවට ඉමහත් සේවාවක් ඉටු කරලා තියෙන, ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට ආඩම්බර වෙන්න පුළුවන් පිරිසක්. ඔබත් මේ සියලු දෙනාම නමින් හෝ හඳුනනවාද බලන්න.

මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා


මහාචාර්ය වික්‍රමසිංහ මහතා විශාල ප්‍රසිද්ධියක් උසුලන්නේ පෘථිවියට ජීවය ලැබුණේ ඈත අභ්‍යාවකාශයේ සිට පැමිණි ක්ෂුද්‍රජීවීන්ගෙන් කියන මතය ඉදිරිපත් කිරීම නිසයි. මේ මතය හැඳින්වෙන්නේ “Panspermia” (විසිරි ජීව අංශු න්‍යාය) කියලයි. රූපය : alchetron.com
1939 අවුරුද්දේ ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේදී උපත ලබපු චන්ද්‍රා වික්‍රමසිංහ මහතා දැන් මහා බ්‍රිතාන්‍යයේ පුරවැසිකම දරන කීර්තිමත් විද්‍යාඥයෙක්. ගණිතඥයෙක්, තාරකා විද්‍යාඥයෙක් වගේම “අභ්‍යාවකාශ ජීව විද්‍යාඥයෙක්” (Astrobiologist) ද වන මෙතුමා වඩාත් ජනප්‍රිය වෙලා තියෙන්නේ “ජීවය බිහි වුණේ පෘථිවියේදී නොව ඈත අභ්‍යාවකාශයේය” කියන මතය ඉදිරිපත් කිරීම වෙනුවෙනුයි. මේ න්‍යාය හඳුන්වන Panspermia කියන වචනයේ අදහස “විසිරි ජීව අංශු න්‍යාය” නැතිනම් “ජීව්‍ය අංශු අභ්‍යාවකාශය පුරා පැතිරිලා තිබීමේ න්‍යාය” වගේ දෙයක්. (Pan + sperm + ia = විසිරුණු + ශුක්‍රාණු + පිළිබඳ)
වික්‍රමසිංහ මහතා කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබලා ඒ කාලයේ තිබුණු ලංකා විශ්ව විද්‍යාලයෙන් (University of Ceylon) ගණිතය පිළිබඳව පළමු පන්තියේ සාමාර්ථයක් එක්ක BSc උපාධිය හිමි කර ගත්තා. ඉන් පස්සේ ඔහු කේම්බ්‍රිජ් සරසවියේ ට්‍රිනිටි විද්‍යාලයෙන් PhD උපාධියත්, කේම්බ්‍රිජ් සරසවියේම ජේසුස් විද්‍යාලයෙන් ScD උපාධියත් ලබා ගන්න සමත් වුණා. ඔහු තමන්ගේ PhD එක වෙනුවෙන් මුල් වරට විද්‍යාත්මක ලිපියක් පළ කළේ “On Graphite Particles as Interstellar Grains” (ග්‍රැෆයිට් අණු පිළිබඳව අන්තරීක්ෂ අංශු වශයෙන්) කියලයි. මෙය නැසී ගිය ශ්‍රීමත් ෆ්‍රෙඩ් හොයිල් මහතාගේ අධීක්ෂණය යටතේයි ලියැවුණේ.
1974 අවුරුද්දේදී මහාචාර්ය වික්‍රමසිංහ මහතා අභ්‍යාවකාශයේ සැරිසරන දූවිලි අංශු වලින් සමහරක් බොහෝ දුරට කාබනික සංයෝග වලින් නිර්මාණය වෙලා තියෙන බවට අදහසක් ඉදිරිපත් කළා. අපි කලින් කියපු “විසිරි ජීව අංශු න්‍යායේ” හොයිල් – වික්‍රමසිංහ ආකෘතිය, නැතිනම් පෘථිවියට ජීවය ලැබුණේ අභ්‍යාවකාශයේ සිට ආ ක්ෂුද්‍ර ජීවීන්ගෙන් කියන අදහස තමයි මෙතුමා විද්‍යාවට ලබා දුන්නු වැදගත්ම දායකත්වය විදිහට සැලකෙන්නේ. කේරලයට වරින් වර වැටුණු රතු පාට වැස්ස සහ පොළොන්නරුවට පතිත වුණු උල්කාෂ්ම වල තිබුණු ක්ෂුද්‍ර ජීවී පොසිල හැඩ මේ න්‍යාය සඳහා සාක්ෂි විදිහට ඉදිරිපත් වුණා.
වික්‍රමසිංහ මහතා අන්තරීක්ෂ මාධ්‍යය (Intersteller Medium), අධෝරක්ත තාරකා විද්‍යාව (Infrared Astronomy), ආලෝක විසිරි න්‍යාය (Light Scatter Theory) ඝන මාධ්‍ය භෞතික විද්‍යාව (Solid-State Physics) තාරකා විද්‍යාවට වැදගත් වන අවස්ථා, අපේ සෞරග්‍රහ මණ්ඩලයේ මුල් අවධිය, උල්කා, තාරකා රසායන විද්‍යාව (Astrochemistry), ජීවයේ සම්භවය සහ තාරකා ජීව විද්‍යාව (Astrobiology) වගේ අංශ විශාල ගණනක් ගැන උනන්දුවක් දක්වනවා. මෙතුමා මේ වගේ විවිධ අංශ වලට අදාළ කාරණා ගැන මේ වන විට පළ කරලා තියෙන පොත් ගණන 30කටත් වැඩියි. මීට අමතරව රූපවාහිනී, ගුවන් විදුලි වැඩසටහන් වලටත්, චිත්‍රපට කිහිපයකටත් වික්‍රමසිංහ මහතා සහභාගී වෙලා තියෙනවා.
චන්ද්‍රා වික්‍රමසිංහ මහාචාර්යතුමා අන්තර්ජාලය සහ බ්ලොග් අඩවි සඳහාත් ලිපි ලියා පළ කරනවා. එතුමාට ලැබිලා තියෙන සම්මාන ගණනාවක් අතරින් විද්‍යා ජෝති සම්මානය සහ Commonwealth Scholar (පොදුරාජ්‍ය මණ්ඩලීය ශාස්ත්‍රඥ) කියන සම්මාන වැදගත් තැනක් ගන්නවා. වික්‍රමසිංහ මහතාගේ ලිපි සහ ප්‍රකාශන කියවා බලන්න කැමති නම් එතුමාගේ නිල වෙබ් අඩවියට පිවිසෙන්නත් ඔබට පුළුවන්.

ආචාර්ය සිරිල් ඇන්ඩෘ පොන්නම්පෙරුම මහතා


ආචාර්ය පොන්නම්පෙරුම මහතා රසායනික පරිණාමය සහ ජීවයේ උපත වගේ ක්ෂේත්‍ර ආශ්‍රිතව සිදු කරපු පරීක්ෂණ නිසා විශාල ප්‍රසිද්ධියක් උසුලනවා. රූපය : nalakagunawardene.com
ආචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතා රසායනික පරිණාමය ගැනත්, ජීවයේ උපත ගැනත් වැදගත් පර්යේෂණ ගණනාවක්ම සිදු කරපු න්‍යායාත්මක විද්‍යාඥයෙක් විදිහට ප්‍රසිද්ධයි. 1923 අවුරුද්දේ ඔක්තෝබර් 16 වැනිදා උපත ලැබූ මෙතුමා ගාල්ලේ ඇලෝසියස් විදුහලෙන් සහ කොළඹ ශාන්ත ජෝශප් විදුහලේ ආදි ශිෂ්‍යයෙක්. ඉන්දියාවේ මදුරාසි විශ්ව විද්‍යාලයෙන් දර්ශනවේදය පිළිබඳ BA උපාධිය ලබා ගත්තු මෙතුමා පසුව මහා බ්‍රිතාන්‍යයේ පදිංචියට ගිහින් ලන්ඩනයේ බර්ක්බෙක් (Berkbeck) සරසවියෙන් රසායන විද්‍යාව පිළිබඳව BSc උපාධිය ලබා ගත්තා. මෙතුමාට මහාචාර්ය බර්නල් (Bernal) මහතා එක්ක ජීවයේ උපත පිළිබඳ පර්යේෂණ වලට දායක වෙන්න අවස්ථාව ලැබුණේත් ඒ කාලයේදීමයි.
පසුකාලීනව කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් රසායන විද්‍යාව පිළිබඳ PhD උපාධිය ලබා ගත්තු සිරිල් මහතා නාසා ආයතනයේ ඒම්ස් පර්යේෂණ මධ්‍යස්ථානය (Ames Research Center) වෙතින් ජාතික විද්‍යා ඇකඩමියේ ගෞරවණීය යාව ජීව සාමාජිකත්වයෙනුත් පිදුම් ලැබුවා. (National Academy of Science Resident Associateship)
1963 අවුරුද්දේදී සිරිල් මහතා නාසා ආයතනයේ බහිර්ජීව විද්‍යා අංශයට (Exobiology Division) බැඳිලා රසායනික අභිවර්ධන අංශයේ (Chemical Evolution Division) අධීක්ෂක තනතුරට පත් වුණා. ඇපලෝ මෙහෙයුම යටතේ හඳේ සිට පෘථිවියට ගෙන ආපු පස් සාම්පල පරීක්ෂා කිරීමේ වැඩසටහනේ ප්‍රධාන පරීක්ෂකයා බවට පත් වුණෙත් සිරිල් පොන්නම්පෙරුම මහතා. නාසා ආයතනය අභ්‍යාවකාශ ගත කරපු වෙයෝජර් සහ වයිකින් යානා වැඩසටහන් වලටත් එතුමා දායක වුණා. නාසා ආයතනයේ අභ්‍යාවකාශ විද්‍යා උපදේශක කවුන්සිලයේ (Space Science Advisory Council) වගේම ජීවන විද්‍යා උපදේශන කවුන්සිලයේත් (Space Science Advisory Council) සාමාජිකත්වය එතුමාට හිමියි.
සිරිල් පොන්නම්පෙරුම මහතාගේ සේවය වෙනුවෙන් හිමි වුණු වටිනාම සම්මානය 1980 දී “ජීවයේ සම්භවය පිළිබඳ සොයා බැලීම උදෙසා වන අන්තර්ජාතික සංගමය” (International Society for the Study of the Origin of Life) මගින් හොඳම ධරණීය වැඩසටහන වෙනුවෙන් එතුමාට පිරිනැමුණු ඔපරින් රන් පදක්කම (Oparin Gold Medal for Best Sustained Program) කියලා සලකන්න පුළුවන්. කාලයක් J. R. ජයවර්ධන ජනාධිපතිවරයාගේ විද්‍යා උපදේශකයෙක් විදිහටත් සේවය කරපු එතුමාට 1990දී ජනාධිපති ප්‍රේමදාස මහතා විද්‍යා ජෝති සම්මානයත් පිරිනැමුවා.
වසර ගණනාවක කීර්තිමත් සේවයෙන් පස්සේ එතුමා 1994 අවුරුද්දේ දෙසැම්බර් 20 වැනිදා අභාවප්‍රාප්ත වුණේ ඇමරිකාවේ මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ රසායනික අභිවර්ධන අංශයේ රසායනාගාරයක පරීක්ෂණයක යෙදිලා ඉන්න අතරතුරදීයි. ඒ හදිසියේම ඇතිවුණු හෘදයාබාධයකින්.
අපේ රටේ කීර්තිය ලොව පුරා පතුරුවන්න දායක වුණු ප්‍රධානතම විද්‍යාඥයෙක් විදිහට ආචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතා අවිවාදයෙන් පිළිගන්න පුළුවන්.

ආචාර්ය සරත් ගුණපාල


අධෝරක්ත කිරණ පරාසයේදී ෆෝටෝනික විද්‍යාව (Photonics) සහ ඒවා ඡායාරූපකරණයට යොදා ගැනීම ගැන කරපු පර්යේෂණ නිසා සරත් ගුණපාල මහතා විශ්ව කීර්තියට පත් වුණා. රූපය : wikipedia.org
ආචාර්ය සරත් ගුණපාල මහතා ෆෝටෝනවල ක්‍රියාකාරීත්වය අධ්‍යයනය වෙනුවෙන් සිදු කරපු පර්යේෂණත් ඒ ඇසුරෙන් ඡායාරූප ලබා ගැනීමේ ක්‍රම වැඩි දියුණු කරන්න දක්වපු දායකත්වයත් ලෝකය පුරාම ප්‍රසිද්ධයි. කෑගල්ලේ යටියන්තොට ප්‍රදේශයේ උපත ලබපු මෙතුමා කොළඹ නාලන්ද විද්‍යාලයේ ආදී සිසුවෙක්. කොළඹ විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ BSc උපාධිය ලබපු එතුමා පිට්ස්බර්ග් සරසවියෙන් භෞතික විද්‍යාව පිළිබඳ MSc උපාධියත්, PhD උපාධියත් ලබා ගන්න සමත් වුණා. ගුණපාල මහතා ඝන-මාධ්‍ය භෞතික විද්‍යාඥයෙක් විදිහටත්, ජේෂ්ඨ පර්යේෂණ විද්‍යාඥයෙක් විදිහටත්, විශේෂයෙන්ම නාසා ආයතනයේ ඉහළම තාක්ෂණික අංශය වන JPL එකේ (Jet Propulsion Laboratory) අධෝරක්ත ෆෝටෝනික සමූහයේ (Infrared Photonics Group) ප්‍රධාන අධීක්ෂකවරයා විදිහටත් මේ වන විට සේවය කරනවා.
ගුණපාල මහතාගේ ප්‍රධානම රාජකාරිය හඳුන්වන්නේ Quantum Well Infrared Photo Detecting (ක්වන්ටම් අවපාත අධෝරක්ත ෆෝටෝන අනාවරණය) කියලයි. එතුමා 1992 අවුරුද්දේ ඉඳලාම JPL හි අධෝරක්ත ෆෝටෝන අනාවරක මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරයා විදිහටත් සේවය කරනවා. ඒ වගේම ඔහු නිව් ජර්සි ප්‍රාන්තයේ AT&T Bell Laboratories ආයතනයේ තාක්ෂණික කාර්යමණ්ඩලයේත්, Bell සන්නිවේදන පර්යේෂණායතනයේ පර්යේෂණ සහායකයෙකු විදිහටත් කලක් සේවය කළා.
ආචාර්ය ගුණපාල මහතාට ලැබුණු සම්මාන විශාල ප්‍රමාණයක් අතරින් 2014 දී නාසා ආයතනයෙන් සුවිශේෂී නායකත්ව හැකියාව වෙනුවෙන් පිරිනැමුණු NASA Outstanding Leadership Medal එක, 2007 දී ලැබුණු නාලන්දා කීර්ති ශ්‍රී සම්මානය, නාසා අභ්‍යාවකාශ ව්‍යාපෘතිය ආශ්‍රිත සම්මාන ගණනාවක් වගේම සුවිශේෂී ඉංජිනේරු දක්ෂතාව වෙනුවෙන් පිරිනැමුණු NASA Exceptional Engineering Achievement Medal එක යන සම්මාන විශේෂ තැනක් ගන්නවා.

ආචාර්ය පවුලිස් එඩ්වඩ් පීරිස් දැරණියගල මහතා


ආචාර්ය දැරණියගල මහතා සත්ව විද්‍යාඥයෙක් විදිහටත්, පාෂාණ විද්‍යාඥයෙක් විදිහටත්, දක්ෂ චිත්‍ර ශිල්පියෙක් විදිහටත් ඉතා ප්‍රසිද්ධයි. රූපය : sirimunasiha.wordpress.com
1900 අවුරුද්දේ කොළඹදී උපත ලබපු ආචාර්ය P. E. P. දැරණියගල මහතා සත්ව විද්‍යාඥයෙක් සහ පාෂාණ විද්‍යාඥයෙක් විදිහට වගේම චිත්‍ර ශිල්පියෙක් විදිහටත් ප්‍රසිද්ධයි. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් BA උපාධිය වගේම MA උපාධියත් හිමි කර ගත්තු එතුමා 1924දී හාවර්ඩ් විශ්ව විද්‍යාලයෙන් තවත් MA උපාධියක් ලබා ගත්තා. ඉන්දියානු අර්ධද්වීපයේ සත්ව විශේෂ සහ මානව පොසිල ගැන හසල දැනුමක් එතුමාට තිබුණු බව සඳහන් වෙනවා. 1939 ඉඳලා 1963 වන තුරුම ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂකවරයා විදිහට කටයුතු කරපු දැරණියගල මහතා 1961 ඉඳලා 1964 වන තුරු විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති (Dean, Faculty of Arts) විදිහටත් සේවය කළා.
ශ්‍රී ලංකාවෙන් වඳ වෙලා ගිය මානව සහ සත්ව වර්ගයන් බොහොමයක් අන්තර්ජාතික සත්ව නාම වර්ගීකරණයට හඳුන්වා දෙන්න එතුමා කටයුතු කළා. බලංගොඩ මානවයාගේ මිනීමස් කන පුරුද්දක් තිබුණු ප්‍රභේදයක් වගේම වඳ වී ගිය ශ්‍රී ලංකා සිංහයා, ශ්‍රී ලංකා ගවරා (Gaur), ශ්‍රී ලංකා හිපපොටේමස් සහ ශ්‍රී ලංකා රයිනෝසිරස් කියන සතුන්වත් ඔහු පොසිල ආධාරයෙන් සොයා ගත්තා. ඔහු චීන හැල කිඹුලා (Chinese Alligator) වෙනුවෙන් අලුත්ම ගණ නාමයකුත් (Genus) ඉදිරිපත් කළා වගේම උරග කුලයේ කටුසු සහ සර්ප විශේෂ ගණනාවක්ම අලුතින් වෙන් කර හඳුනා ගන්න සමත් වුණා.
අවුරුදු 76ක් වෙලා මිය යන්න ආසන්නව සිටි 1952-55 කාලයේදී දැරණියගල මහතා රාජකීය ආසියා සංගමයේ ලාංකීය ශාඛාවේ (Ceylon Branch for the Royal Asiatic Society) සභාපතිවරයා විදිහටත් කටයුතු කළා.

මහාචාර්ය චන්දිම ගෝමස් මහතා


මහාචාර්ය ගෝමස් මහතා වඩාත්ම ප්‍රසිද්ධ අකුණු ආරක්ෂක තාක්ෂණයට ඔහු ලබා දුන්නු දායකත්වය ගැනයි. රූපය : wikipedia.org
මහාචාර්ය චන්දිම ගෝමස් මහත්මයා අකුණු ආරක්ෂක තාක්ෂණයට ලබා දුන්නු දායකත්වය වෙනුවෙන් ලෝකය පුරාම පිළිගැනීමට ලක් වුණු විද්‍යාඥයෙක්. 1966 අවුරුද්දේ සැප්තැම්බර් 12 වැනිදා උපත ලබපු එතුමා කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබලා කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා. එහිදී භෞතික විද්‍යාව වෙනුවෙන් පළමු පන්තියේ සාමාර්ථයක් ලබා ගත්තු එතුමා ඉක්මණින්ම කොළඹ විශ්ව විද්‍යාලයේ දේශකයෙක් විදිහට සේවයට එක් වුණා. එතුමා PhD උපාධිය ලබා ගත්තේ ස්වීඩනයේ උප්සලා (Uppsala) විශ්ව විද්‍යාලයෙන්.
එතුමා අකුණු ආශ්‍රිත භෞතික විද්‍යාව සහ අකුණු ආරක්ෂණ ක්‍රම, අධි වෝල්ටීයතා ඉංජිනේරු ව්‍යාපෘති සහ විසර්ජන භෞතික සංසිද්ධි (Discharge Physics) වගේ අංශ ගැන උනන්දුවක් ඇති කර ගත්තේ මෙහිදීයි. ඉන් පසුව මහාචාර්ය වර්නන් කුරේ මහතා යටතේ ඒ අංශයන් ගැන වැඩිදුර හදාරපු ගෝමස් මහතා අකුණු ආරක්ෂක ක්‍රම ගැන විශේෂඥයෙක් බවට පත් වුණා. එතුමා දැනට නොකඩවා වසර 10කටත් වැඩි කාලයක් කොළඹ විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ අධ්‍යාපනඥයෙක් විදිහටත්, පර්යේෂකයෙකු විදිහටත් සේවයේ යෙදෙනවා. දකුණු ආසියානු කලාපයේ අකුණු අනතුරු අවම කර ගැනීම වෙනුවෙන් ආරක්ෂණ ක්‍රම පිළිපැදීම වෙනුවෙන් ඔහු නිරන්තරව කැප වෙනවා.
මහාචාර්ය ගෝමස් මහතා NASTEC එකේ තරුණ විද්‍යාඥයන්ගේ සංසදයේ සභාපතිවරයා විදිහටත් කාලයක් කටයුතු කළා. මීට අමතරව අකුණු ආරක්ෂණ ජාතික ප්‍රතිපත්ති සැකසීමේ කමිටුවේ සභාපති තනතුර සහ ඇන්ටෙනා කුළුණු පිළිබඳව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ජාතික ප්‍රතිපත්ති සහික තනතුරත් එතුමා හොබවලා තියෙනවා.
විදුලි ඉංජිනේරු මහාචාර්යවරයෙක් විදිහට මැලේසියාවට යන ගෝමස් මහතා එහි විද්‍යුත් චුම්භක සහ අකුණු සැර ආරක්ෂණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන්න දායක වුණා. එම ආයතනයේ මුල්ම ප්‍රධානියා බවට පත් වුණෙත් ඔහුමයි. ඉන් පසුව අප්‍රිකානු මහාද්වීපය දක්වාත් තමන්ගේ සේවය පුළුල් කරපු මහාචාර්ය ගෝමස් මහතා එහිදීත් පර්යේෂණ, අධ්‍යයන, මහජන දැනුවත් කිරීම්, පුහුණුව ලබා දීම සහ අකුණු ආශ්‍රිත ඉංජිනේරු ක්‍රමවේද සහ අදාළ භෞතික මූලධර්ම කියා දෙන මධ්‍යස්ථානයක් ආරම්භ කළා.
චන්දිම ගෝමස් මහතාගේ වැදගත් සොයා ගැනීමක් විදිහට පුරාතන බෞද්ධ චෛත්‍ය වල තිබුණු අකුණු ආරක්ෂක ක්‍රමවේදයන් ගැන වැඩිදුර අධ්‍යයනය හඳුන්වන්න පුළුවන්. ඒ ගැන පැහැදිලි අදහසක් ගන්න එතුමාට වසර 10කට වැඩි කාලයක් වෙහෙසෙන්න සිදු වුණා.
එතුමා මහා බ්‍රිතාන්‍යයේ වරලත් ඉංජිනේරුවරයෙක් සහ වරලත් භෞතික විද්‍යාඥවරයෙක් විදිහට උසස් පුහුණුවක් ලබා තිබෙනවා. මීට අමතරව ඉංජිනේරු ව්‍යාපෘති සඳහා උපදේශන සැපයීම, අකුණු අනතුරු වැළැක්වීම පිළිබඳ තාක්ෂණික උපදෙස් පිරිනැමීම, විදුලි සැපයුම නිවැරදිව බිම්ගත කිරීම, විද්‍යුත් චුම්භක සම්භාධක සහ පර්යේෂණ ක්‍රමවේදය යනාදිය ගැන උපදෙස් පිරිනැමීම වගේ කාරණා චන්දිම මහතාට අයත්. ඔහු දැන් ජීවත් වෙන්නේ මැලේසියාවේ.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා


මහාචාර්ය මුණසිංහ මහතා තමයි නොබෙල් සම්මානයක් හිමි කරගන්න සමත් වුණු මුල්ම ශ්‍රී ලාංකිකයා. රූපය : speakersbulgaria.com
අන්තිමට අපි කියන්න යන්නෙත් බොහොම වැදගත් ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක් ගැනයි. ඔහු තමයි මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා. ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට නොබෙල් සම්මානයක් හිමි කරගත්තේ එතුමායි.
භෞතික විද්‍යාඥයෙක්, අධ්‍යාපනඥයෙක් සහ ආර්ථික විද්‍යාඥයෙක් වන මොහාන් මුණසිංහ මහතා අන්තර්රාජ්‍ය දේශගුණ විපර්යාස මඩුල්ලේ (Intergovernmental Panel on Climate Change – IPCC) උප සභාපතිවරයා විදිහටත් කටයුතු කරනවා. මොහාන් මහතාට නොබෙල් සම්මානයක් හිමි වෙන්නේ මේ ආයතනයේ සක්‍රීය ක්‍රියාකාරිත්වය වෙනුවෙනුයි. මොහාන් මුණසිංහ මහතා පාසල් ගියේ රාජකීය විදුහලට. 1967 අවුරුද්දේදී ඉංජිනේරු විද්‍යාව වෙනුවෙන් BSc උපාධියක් ලබා ගත්තු එතුමා පසුව කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් MSc උපාධියක් හිමි කර ගත්තා.
මුණසිංහ මහතා MIT (Massachusetts Institute of Technology) එකෙන් පිරිනමන විදුලි ඉංජිනේරු උපාධියක් හිමියි. ඊට අමතරව ඔහුට කැනඩාවේ මැක්ගිල් විශ්ව විද්‍යාලය පිරිනමන PhD උපාධියකුත්, කැනඩාවේ කොන්කෝඩියා විශ්ව විද්‍යාලයෙන් පිරිනැමෙන ආර්ථික විද්‍යාව පිළිබඳ MA උපාධියකුත් තියෙනවා. දැනටමත් විද්‍යාත්මක ග්‍රන්ථ 100කට වැඩි ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කර ඇති මොහාන් මහතා විවිධ ක්ෂේත්‍ර වලට අයත් ඉතා ප්‍රසිද්ධ විද්‍යාත්මක ලිපි සිය ගණනකුත් ලියා තිබෙනවා. දේශගුණ විපර්යාස, ස්වභාවික විපත්, පරිසර හානි, ධරණීය සංවර්ධනය, බලශක්තිය, ප්‍රවාහනය, නගරබද යටිතල පහසුකම්, ජල මූලාශ්‍ර, ටෙලි සන්නිවේදනය, ධරණීය නිෂ්පාදනය සහ පරිභෝජනය වගේ පුළුල් ක්ෂේත්‍ර ගණනාවක් ගැන එතුමා ලියා ඇති මේ විද්‍යාත්මක ලිපි ගොන්න එතුමාගේ දැනුම් සම්භාරයට හොඳ සාක්ෂියක්.
ඒ වගේම මොහාන් මුණසිංහ මහතා බලශක්තිය සහ සන්නිවේදනය පිළිබඳ ජේෂ්ඨ උපදේශකයෙක් විදිහට 1982 – 87 කාලයේදී ශ්‍රී ලංකාවේ ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සකසනකොටත්, ශ්‍රී ලංකාවේ පරිගණක ප්‍රතිපත්තිය නිර්මාණය කරනකොටත් තමන්ගේ දායකත්වය ලබා දුන්නා. ශ්‍රී ලංකාවේ පරිගණක හා තොරතුරු තාක්ෂණ කවුන්සිලයේ මුල්ම සභාපතිවරයා විදිහටත් කටයුතු කළේ එතුමාමයි. 1990 – 92 කාලයේදී මොහාන් මහතා ඇමරිකානු ජනාධිපතිවරයාගේ “පරිසර තත්වය පිළිබඳ කවුන්සිලයේ” උපදේශකයෙක් විදිහටත් රැකියාවට බැඳුණා.
2002 දක්වාම මොහාන් මහතා ලෝක බැංකුවේ ප්‍රධාන කළමනාකරුවෙක් සහ උපදේශකවරයෙක් විදිහටත් කටයුතු කළා. එතුමා ලබා ගත්තු සම්මාන, ගෞරවයන් නම් කෙළවරක් නැහැ. මානුෂීය භාවය වෙනුවෙන් පිරිනැමෙන සර්වෝදය සම්මානය, සාමය සහ සංවර්ධනය පිළිබඳ සම්මානය (2007), ඉංජිනේරු විද්‍යාවේ උසස්ම හැකියාව වෙනුවෙන් සම්මානය (Eminence in Engineering Award – 2014), සුවිශේෂීත්වය උදෙසා එක වරක් පමණක් පිරිනැමෙන සම්මානය (Outstanding Lifetime Achievement Award – 2003) සහ පරිසරය වෙනුවෙන් පිරිනැමෙන සයීඩ් අන්තර්ජාතික සම්මානය (Zayed International Prize for Environment – 2006) ඉන් කිහිපයක් විතරයි.
දැනට මුණසිංහ මහතා කොළඹ පිහිටා තිබෙන තමන්ගේ “මුණසිංහ සංවර්ධන ආයතනයේ” (Munasinghe Institute for Development – MIND) අධ්‍යක්ෂකවරයා විදිහටත්, චීනයේ පීකිං විශ්ව විද්‍යාලයේ ගෞරව සහිත ආරාධිත දේශකයෙක් විදිහටත්, ශ්‍රී ලංකා රජයේ ගෞරවාන්විත ජ්‍යෙෂ්ට උපදේශකවරයෙක් විදිහටත් සේවය කරනවා. කැමති නම් එතුමාගේ වෙබ් අඩවියට මෙතැනින් පිවිසෙන්න පුළුවන්.
අපි ඔබට කිව්වේ ලෝකයේ ප්‍රසිද්ධම ශ්‍රී ලාංකික විද්‍යාඥයන් කිහිප දෙනෙක් ගැනයි. අපි මෙතැන සඳහන් කරලා නැති තවත් නමගිය ලාංකීය විද්‍යාඥයින් ගැන තොරතුරු දන්නවා නම් comment එකක් දාල මේ ලිපිය කියවන අනෙක් අයත් එක්කත් ඔබේ දැනුම බෙදා හදා ගන්න.
පරිවර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ 
Post a Comment